2014 අගෝස්තු 12
අද
දුම්රිය ප්‍රමාදයි.. මරදානෙන් බැහැල වේගයෙන් ඇවිදගෙන එද්දි පුංචි සිල්ලර කඩයෙ
මුස්ලිම් මුදලාලි මාමා කතා කළා.
‘‘මිස්... මිස්..”
මම හිනාවෙලා නැවතුණා...
‘‘ වටලප්පං ගෙනාවා...” ඔහු
මගේ අතට කවරයක් දෙමින් පැවසුවා.
‘‘ආ......... ෂෝක්නෙ.... මට ම ද ගෙනාවෙ” මං ඇහුවා.
ඔහු හිස සැලුවා..
ගිය අවුරුද්දෙත් රාමසාන් නිමවෙලා මේ වගේම මං වැඩට
එන උදයක ඔහු මට කතා කරල පුංචි ඇලුමිනියම් බඳුනක වටලප්පම් දුන්නා. ඒ වෙද්දි ඇත්තටම
ඒ සිල්ලර කඩයෙන් මම සත පහක දෙයක් අරන් තිබුණෙ නැහැ. හැමදාම උදේට හිනාවෙලා
ගුඩ්මෝනින් කියන මනුස්සකමට ලැබුණු රස ම රස තෑග්ගක් ඒ.....
ඒ සැරේ හිස් බඳුන මං ආපහු ගෙනිහින් දුන්නෙ පුංචි තෑග්ගකුත් එක්ක.
අලුත්ගම ගිනිගත්ත දවස්වල ඒ මුහුණෙ පිරිල ඉතිරිලා තිබුණෙ මහා
බයක්... නැවතිලා වචනයක් දෙකක් කතා කරල එන්න අමතක කළේ නැහැ මම.... මං හිතන්නෙ හිනාවකට, සුහද කතාබහට ඇති කරන්න පුළුවන් අධ්‍යාත්මික සංහිඳීම වචනයෙන් විස්තර
කරන්න අමාරුයි.
ඉතින් මේ රාමසාන් උත්සවයටත් ඒ මාමට මාව මතක් වෙලා... නිහතමානී
සතුටක් දැනෙනවා හිතට..
...................
කාර්යාල පේන මානෙ බස් නැවතුමෙන් බැස්සම හැමදාම දකිනව අසරණ සීයා
කෙනෙක්. මේ වැහි බීරුම අස්සෙත් කණුවකට හේත්තු වෙලා සීතලේ ගැහි ගැහී ඉද්දි මං එතන
නැවතුණේ ඉබේම.
‘‘සීයා උදේට කෑවද?”
“තාම නෑ..” උන්දැ බොහොම අහිංසකව කිව්වෙ. ඒක මවාපෑමක් නෙවෙයි,
ඇත්තටම අසරණ අහිංසක මනුස්සයෙක් බව අපට දැනිල තිබුණා.
“මොනවද උදේට කන්න කැමති..”
“ඉඳිආප්ප....”
“ කීයක් විතර තිබුණොත් ඇත්ද?”
“ දහයක් හොඳටම ඇති.”
මට පුදුමත් හිතුණා. සාමාන්‍යයෙන් කෑම එකක් දෙන්න ගියත් එපා කියල
සල්ලි ඉල්ලන, කල දුටු කල වල ඉහගන්න බලන මිනිස්සුන්ගෙන් අඩුවක් නැති ලෝකෙ ඉඳිආප්ප
දහයකින් සැනහෙන අහිංසක මනුස්සයෙක්...
ඉඳිආප්ප පාර්සලය අතට ගද්දි හරිම කෘතවේදී බවක් ඒ ඇස්වල තිබුණෙ...
............
රංගි එයාගෙ බ්ලොග් ලිපියෙ මං ගැනත් ලියල තියෙනව දැක්කම සතුටක්
දැණුනා. බ්ලොග් එක නිසා මං වගේම තවත් පොත් ගුල්ලො අපමණ සංඛ්‍යාවක් අඳුනගන්න
ලැබුණා. ඒ වගේම අපමණක් සුන්දර මිනිසුන් දැන අඳුනගන්න ලැබුණා.. ඒක හරි වාසනාවක්...
මවාපාන අය අතරේ ඇත්තටම උදවුවක් ඕන අය හොයා ගන්න හරි අමාරුයි අක්කේ.. හැබැයි එහෙම වුනත් අපේ උදවු හුඟක් වෙලාවට ලැබෙන්නෙත් ඒ මවාපාන අයටමයි..
ReplyDeleteසමහර මිනිස්සුන්ගේ හිත් වලට ලං වෙන්න හුඟක් දේවල් කරන්න ඕන නෑ.. මනුස්සකම එක්ක එක පොඩි හිනාවකුත් ඒකට ඇති..