මාසික සිනමා දැක්මෙ ඊයෙ පෙන්නුව චිත්‍රපටය
අපර්ණා සෙන්ගෙ ‘ජපන් බිරිඳ’. ඒ චිත්‍රපටය හරිම ලස්සනයි. සංවේදීයි. මානුෂිකයි.
ආදරණීයයි. සුනිල් විජේසිරිවර්ධනගෙ මගපෙන්වීම චිත්‍රපටිය හදවතින්ම විඳින්න ලොකු
උදව්වක් වුණා.
චිත්‍රපටිය ආරම්භයේ ඉඳන්ම ඉකිබිඳුමක්
හිරවෙලා තිබුණා. ඇස් තෙත් වෙවී තිබුණා. අන්තිමට ස්නෙහෙමෝයි ‘මියාගි‘ කියල සන්ධ්‍යගෙ අත අල්ලල පපුවට තුරුළු
කරගනිද්දි මගේ ඇස්වලින් කඳුළු ගලාගෙන ගියා. අවසන් දර්ශනයෙදි සන්ධ්‍යා මියාගිව
ආදරයෙන් පිළිගනිද්දි, ගෙට.. කාමරයට කැන්දන් යද්දි ආයෙම
ඇස්වල කඳුළු වේලිලා හිත සැනසීමකින් පිරුණා.
ඒ මියාගි මමයි කියල මට හිතුණා. වෙලාවකට මම
ස්නේහමෝයි වගේ. වෙලාවකට සන්ධ්‍යා වගේ. මට මාවම පෙනෙන්න දැනෙන්න ගත්තා. වැඩියම දුක
ඒ නිසාමද මන්ද?
ඒකපාර්ශවීය ප්‍රේමය කියන්නෙ අත්තටු බිඳුණු
කුරුල්ලෙක් වගේ. විසල් අහසක් තිබුණට එයාට පියාඹන්න පුලුවන් කමක් නෑ. හිතේ ධෛර්යය,
කැපවීම තියෙන තාක් එයා ඉස්සරහට යාවි. ඒත් ඒක හරිම දුෂ්කර ගමනක්.
වේදනාත්මක ගමනක්. ඒ ප්‍රේමයට සියදිවි නසාගන්නත් හිතේවි. නැත්නම් කාට හරි ගොදුරු
වේවි.
ප්‍රේමයට ක්ෂය වෙන්න ඉඩහැරල සහෝදරත්වයේ
අත්තටු පළන්ඳගන්න පුළුවන් නම් හොඳයි. ඒත් ඒක ප්‍රේමයට පණ නහගන්න ඉඩඅරිනවටත් වඩා
අමාරු වැඩක්....
........
සිලි සිලි පොදවැස්සෙ ඊයෙ මං ගෙදරින්
පිටවුණේ. මීදුම් කබාය පොරවගන ශීතලෙන් ගැහි ගැහී ඉන්න මහල්ලෙක් වගේ ඉරට අමතක වුණු
උදෑසනක්.
උදේ වරුවෙ ගෙවුණෙ කවි
වැඩමුළුවෙ. ප්‍රධාන දේශනය කළේ ‘පසිපුර
නන්ද’ මහත්මයා. කවිය
ගැන හොඳ විස්තරාත්මක කතාවක්. නාමල් අයිය
දෙමව්පියන්ට කතා කළා පැයක්. නාමල් අයියව දකින එකත් සතුටක්නෙ. එයාගෙ කතාවක් ඇහුවම හිතට
දැනෙන ගැම්ම සෑහෙන දවසකට ඇති.
තෑගි, සහතික දුන්නට
පස්සෙ එක දුවක් අම්ම එක්ක ඇවිත් කතා කළා. එයා තමයි 12-13 වයස් ඛාණ්ඩෙ පළමුවෙනියා.
‘‘මිස්ට මතකද මාව?”
‘‘හරියටම මතක නෑ. ඔයා ළක්‍රිවිද?”
‘‘නෑ. මිස් නවගත්තේගම
පොත් ප්‍රදර්ශනය දවසෙ මේ කවි තරඟය ගැන විස්තර කොලේ දුන්නෙ අපට. ඒ නිසයි මේ තරඟය
ගැන දැනගත්තෙ.”
ඒ දුව පුත්තලම් පැත්තෙ ඉස්කෝලෙක ඉගෙනගන්නෙ. ගම නවගත්තේගම. අම්මත් එක්ක ඇවිත් හිටියෙ. දුප්පත් අම්ම කෙනෙක්. දැණුන සතුට අප්‍රමාණයි. එදා අපි ගොඩක් අයට පත්‍රිකා දුන්නා. එයින් එක්කෙනෙක් හරි ඉදිරියට ඇවිත් තියෙනවනෙ.
අද උඳුවප් මහේ
පළමුවැනිදා. උදේ අවදිවුණේම රතිඤ්ඤා හඬින්. වැහිබර අඳුරු අහස තරමක් පැහැදිලි වෙන්න
අරගෙන. නත්තල් හීතල දැණුනෙ නැති තරම්. තවමත් මගේ හිත ඊයෙ සිනමා සිත්තමේ කඳුළු අතර
හිරවෙලා. ඇත්තටම අද මට සැහැල්ලුවෙන් හිනාවෙන්න හිතක් පහළවුණේම නෑ.
කෝච්චියෙන් ඇවිත්, බස්
එකකට මාරුවෙලා ඉන්පස්සෙ පාගමනින් ඇඟිල්ලත් අරගෙන දුවගෙන දුවගෙන එද්දි කැඳ නංගි කතා
කළා. කාර්යාලය ඇතුළෙ ආපනශාලාවෙ කැඳ අළෙවිකළ සහෝදරිය අළෙවිය අඩු නිසා දැන් ඇගේ කැඳ
කඩේ පාර අද්දරට අරන් ගිහින්. කැඳ වර්ග කිහිපයක් ඇය අලෙවි කරනවා. කොළකැඳ, කුරක්කන්,
සව්, රුලං ඒ අතර. හකුරු කෑල්ලක් එක්ක ලැබෙන ඒ කැඳ කෝප්පෙ ගෙවන මිලට වඩා වටිනවා. රසවත්.
ඉස්සර දවසක අපි හිතවත්
වුණේ සොඳුරු කතාබහකින්.
‘‘මිස් වගේම කෙනෙක්
අපේ ගමේ ඉන්නවා. නිතරම හිනාවෙලා කතාබහ කරනවා හරි කරුණාවන්තයි. ” දවසක් කැඳ කෝප්පයක්
මිලදී ගන්න ගිය අතරෙ ඈ කිව්වා. මං වගේම අය ඉන්න බව නම් මං කොතෙකුත් අහල තියෙනවා.
‘‘මං වගේම අය ඉන්න
කතාව නම් ගොඩක් අය මට කියල තියෙනවා. මං තිස්සෙම හිනාවෙලා ඉන්නවද? කරුණාවන්තද? ඒ
ගැන නම් මට අදහසක් නෑ.” මං කිව්වා.
‘‘ඇත්තමයි. මිස්ගෙ
හිනාවයි, කතාවයි දැක්කම හිත පිරෙනවා.”
‘‘එහෙම තමයි හිනාවෙලා
කතා කරල ඉන්න ඕන. අඬන්න වුණාම තනියෙන් අඬන්න ඕන.” කැඳ කෝප්පෙත් අරන්
එහෙම කියල ආවා මම. මගේම කල්පනාවන් එක්ක තනිවුණාම දුකින් හිටියත් මම අනිත් අය
ඉදිරියෙදි සතුටින් හිනාවෙලා ඉන්නවා. ඉතින් කවුරුත් හිතන්නෙ නැහැ මට මගේම දුක්
වේදනා තියෙනව කියල තනියෙන් රසවිඳින.
මුලින්ම පාර අද්දරට
කැඳ කඩේ ගෙනගිය දවසෙත් මම කඩිමුඩියෙ දුවගෙන එද්දි ඈ කතා කළා. ‘‘මිස් මිස් අද ඉඳන්
මම මෙතැන.” එදා තමයි මම
මුල්වරට ඇගේ ජීවන තොරතුරු අහල බැලුවෙ. ඉන්පස්සෙ මට ඈ ගැනත් දැණුනෙ මහා කරුණාවක්.
ඉතින් අද,
ඇගේ ඇමතුමට මං
නැවතුණා.
‘‘අද නං කැඳ එපා.” මං කිව්වා.
‘‘කැඳ ගත්තෙ නැතිවුණාට
කමක් නෑ මිස්. ඔය සිරියාවන්ත මූණ පෙන්නල වචනයක් දෙකක් කතා කරල ගියත් ඇති.” ඈ කිව්වා. මට
පුදුමයි.
ඇත්තටම මට තියෙන්නෙ සිරියාවන්ත මුහුණක්ද? මං තාමත් හිතනවා.