Tuesday, June 24, 2014

මවකගෙ කඳුළ.. මල් තුහින.. අළුත් නවාතැන...


2014 ජුනි 21

“මං ඔයාල වෙනුවෙන් කොයි තරම් කැපකිරීම් කරල තියෙනවද? මං වෙනුවෙන් එක දවසක් කැප කරන්න ඔයාලට බැරිද?...”

අම්මා කෙනෙකුගේ හිතේ අමාරුව වචනවලට පෙරළෙන හැටි මං අහන් උන්නා.

“ඔයාලගෙන් උදව් ඉල්ලන්න මං තව වැඩි දවසක් ජීවත් වෙන්නෙ නෑ....” ඒ අම්මගෙ කටහඬ බිඳුණා.

අම්මා කෙනෙකුගෙ දුකට කඳුළු ඉනුවෙ මගේ ඇස්වල‍ට..

අපේ අම්මා අසනීපෙන් උන්නු පහුගිය මාස තුනේ අපි එයාව බලාගත්තෙ දරුවෙක් ගානට... මව්පිය සෙනෙහස, දරු සෙනෙහස මේව අවලංගු සමාජ සම්බන්ධතා ගොන්නට වැටෙනවට වඩා මං ආසයි ඒ බැදීම් ආත්මාර්ථයෙන් තොරව ආදරය, නිදහස පුරවාගෙන තවදුරටත් පවතිනවා දකින්න.... ඒක බොහොම සාම්ප්‍රදායික සිතුවිල්ලක් කියල කෙනෙකුට හිතෙන්නත් පුළුවන්... ලෝකය යහපත් තැනක් වෙන්න නම් අපට මේ මානුෂික සම්බන්ධතා බැහැර කරන්න බැහැ නේද?



2014 ජුනි 22‍

“මල් තුහින නොවේ මේ යාපනේ” නයනහාරිගේ ඡායාරූප ප්‍රදර්ශනය බලන්න ලයනල් වෙන්ඩට් එකට ගියා සවස් වරුවෙ. ළ.ක්‍රි.වී. යෙ නංගිලා දෙන්නත් එක්කම.... ලයනල් වෙන්ටඩ් එකට භෞතිකව ඇතුල් නොවුණත් හදවතින් ඇතුල් වුණු මංජුල අයිය අපට වඩා හොදට ඡායාරූප කියවල තියෙනවා... ඒ නිසයි ඔහු මෙහෙම කියන්නෙ...

“නයනහාරාගේ යාපනේ පින්තූර වලද දරුවන් හිනැහේ.  ඒ හිනාවන් වෙනස් ය. අතවනා මවන ලද සිනහවන් නොවේ.  දරුවන් සිනාසෙන මොහොත ඇය දනී.  සිනහවේ ප්‍රභේද දන්නී ය.  ෆිට් කියන සිනහවන්ගෙන් මහපොළොවේ වැලි හැලෙයි.  මල් නටු හපන සිනහ මල් මත වේදනාවේ තටු මැවෙයි.  මේ නම් නෙතු අතරින් පිනි විසිරෙන යාපනයකි.  මේ නම් පිනි අතරින් ගිනි විසිරෙන යාපනයකි. 

දරුවන් අකුරු ලියනා - චිත්‍ර අඳිනා මොහොතද, දරුවන් අහර බුදිනා මොහොතද, දරුවන් වැඩ කරනා මොහොතද, දරුවන් කල්පනා කරනා මොහොතද ඇය දනී.  ඔවුන් අබියස හිටගතයුතු නිෂ්චිත මොහොත දන්නා බැවිනි.  දරුවන් වේදනාව ගසා බසා දමමින් සෙල්ලම් කරනා මොහොතද,  සෙල්ලම් කරන දරුවන් දෙස බලා සිටිනා දරුවන්ගේ සෙල්ලම් නැති මොහොතද ඇයට එකවර හසුවන්නේ එබැවිනි.”

නයනහාරා කැමරා ඇස මෙතරම්ම සියුම් වෙන්නෙ ඇගේ හදවතේ සංවේදීභාවයත් එක්ක... ඡායාරූපවලට හදවතටම කතා කරන්න ඉඩ දීලා සමාධිගත හෝරාවකින් පස්සෙ නයනාහාරි එක්කත් සංවාදගත වෙලා අපි පයින්ම මරදාන පල්ලියට ආපහු ආවා...

හැන්දෑව ගත වුණේ පොල්වත්ත පල්ලියෙ. ළ.ක්‍රි.වී. දරුවන්ගෙ ගිනිමැලය එක්ක. දරුවන්ගෙ නර්තන අංග, නාට්‍ය කාලෙකට පස්සෙ හිත ළ.ක්‍රි.වී. මතකයන්ගෙන් පිරෙව්වා. කැම්පස් එන්න කළින් ගමේ ළමයි එක්ක කළ අවසන් ගිනිමැලය මතක් උණා. ඒ 1999 වසර. එදා ගිනිමැලය නිම වුණාම ළගට ආව අම්ම කෙනෙක් මෙහෙම කිව්වා.

“ඔයා ගමෙන් ගියාම අපේ දරුවන්ට තමයි පාඩු. අපේ ළමයින්ට මෙහෙම දක්ෂකම් තියෙනවා කියලවත් අපි දැනන් උන්නෙ නැහැනෙ...”



2014 ජුනි 23

ටික දවසකට අළුත් නවාතැනක්.. ඇත්තටම අළුත් නැහැ. නිත්‍ය වාසස්ථානයක් නොවුණත් ගෙදර වගේම අවුරුදු පහළොවක් තිස්සෙ ජීවිතයට සමීප වුණු තැනක්. ඒ මරදාන පාතිමා දෙව්මැදුරු බිමේ ළ.ක්‍රි.වී. පියස.... කාර්යාලයට විණාඩි 05 ක දුර... කොයි තරම් නිදහසක්ද? කාලය කොයි තරම් ඉතිරිද?

ඉස්සර තිබුණු සිංහල උළු හෙවිල්ලපු පුංචි ගෙදර වෙනුවට දැන් තියෙන්නෙ මහල් කිහිපයක නවීන ගොඩනැගිල්ලක්.. ඒ පරණ පුංචි ගෙදර පිරිල තිබුණු සරල, නිදහස් බව දැන් ගිලිහිලාදෝ කියලත් හිතෙනවා. මං තාමත් ආදරේ අපි මුලින්ම ළ.ක්‍රි.වී. කාර්යාලය විදියට දැක්ක ඒ පුංචි ගෙදරට‍... ඒත් මේ විසල් ගොඩනැගිල්ල ඇතුළෙ ආදරණීය හදවත් ඇති මිනිසුන් ටික කලකට නවාතැන් ගන්න ආව මාව බො‍හොම උණුසුම්ව පිළිගත්තා‍‍‍...  

හැන්දෑවෙ සිස්ට ලක්මාලි එක්ක පල්ලිය වටේ සක්මන් කරල සිමෙන්ති බංකුවෙ වාඩිවෙලා ආගිය තොරතුරු කතා කළා.. සුන්දර මොහොතක්... අවුරුදු දහයක මිත්‍රත්වයක අසිරිය...


රාත්‍රී කෑමෙන් පස්සෙ The Book Thief චිත්‍රපටිය බැලුවා‍‍‍.. හරිම ලස්සනයි. කටුක දුක්ඛ දෝමනස්සයන් මැද්දෙ වුණත් ආදරය, මනුස්සකම පිරිලා ඉතිරිලා යන හැටි... ඇයි අපේ රටේ මේ වගේ චිත්‍රපටි නිපදවෙන්නෙ නැත්තෙ.. මනුෂ්‍යත්වයේ උත්තරීතර බව කියැවෙන චිත්‍රපටි... එහෙම නොවෙන්නෙ අපේ සමාජයේ මනුස්සකම පිරිහිලා නිසාද? එහෙම නැත්නම් මනුෂ්‍යත්වය විඳින්න තරම් නිර්මාණකරුවන් සංවේදී නැති නිසාද?  

No comments:

Post a Comment