2014 ජූලි 18 – 20
මාල පොට උකසින් බේරගෙන සති අන්තෙ ගෙදර ගියේ ලොකු සතුටකින්. ලොකු නංගිගෙ
උපන්දිනේට තෑග්ග විදියට මාල පොට දෙන්න මං හිතන් උන්නෙ. ඇත්තටම එතන තිබුණෙ තෑග්ගක්
දීමේ අවශ්‍යතාවයට වඩා රත්තරන් උගුලකින් ගැලවීමේ උවමනාවද කියලත් මට හිතෙනවා. බෝඩිමට
හොරු පැනල තිබුණු රත්තරන් කෑලි ටිකත් අරන් ගියාට පස්සෙ රත්තරන් කියන්නෙ අනවශ්‍ය
බරක් බව තදින්ම දැනිල තිබුණෙ. බෝඩිමේ තියන්නත් බෑ. ගෙදර තියන්නත් බෑ. පළඳින්නත්
බෑ. අනිත් හැම බරක්ම හිතින් අයින් කරල සැහැල්ලු වෙනව වගේ එයිනුත් නිදහස් වෙන්නයි
මට ඕන වුණේ.
මාල පොට දුන්නම ලොකු නංගි හරි සතුටු වුණා. එවෙලෙම මාල පෙත්තක් අමුණල කරේ
දාගත්තා.
‘‘ඔයාටත් තෑග්ගක් තියෙනවා. ගේ ඇතුළෙ..” ලොකු නංගියි
පුතයි අගේ කර කර කියද්දි මට හිතාගන්න බැරි වුණා. පුරුදු විදියට එයාලගෙ ගෙදරින් රෑ
කෑම කාලා ලොකු නංගි එක්කමයි ඇවිත් මගේ ගෙදර දොරවල් ඇරියෙ. එයානෙ මගේ ආරක්ෂිකාවත්.
පරණ සාරියකින් වහල අලුත්ම බයිසිකලයක්... මට වාවගන්න බැරි සතුටක් වගේම ලොකු
දුකකුත් දැණුනා. දවස පුරා බුලත් කොටුවල වැඩ කරල ගන්න සල්ලි.. පව්...
බයිබලයේ එන වැන්දඹුවගේ පඬුර ගැන කතාව මට මතක් වුණේ.. මහා පෝසතා දැම්ම සල්ලි
මිටියට වඩා දුප්පත් වැන්දඹුවගේ තඹය වටින බවයි ජේසු කියන්නෙ. ඒ ඈ සතු සන්තකය. ඒ
වගේම ඇය හදවතින්මයි ඒ පඬුර දෙවියන්ට ඔප්පු කළේ... ඒ නිසයි ඒ දුප්පත් පඬුර දෙවියන්ට
වඩාත් වටින්නෙ.
ලොකු නංගිගෙ තෑග්ග සියදහස් ගුණයක් වටිනාකමින් වැඩිත් ඒ නිසාමයි. ඇගේ දහඩිය
මහන්සිය. ඈ සතු සන්තකය ඇගේ තෑග්ග ඇතුළෙ තියෙනවා. දවස පුරා ඉඳගෙන බුලත් අමුණන එක,
දවස පුරා හිටගෙන බුලත් දළු බඳින එක, බුලත් පාත්තිවලට පොහොර දාන එක, බුලත් පාත්ති
අතර තණකොල උදළු ගාන එක කොයි තරම් අමාරුද කියල මට හිතාගන්න හැකි. උදළු පාරවල්
දෙකතුනටත් මට මහන්සි දැනෙනවා. අත්වල කර ගැට එනවා. ඒත් ලොකු නංගි හැමදාමත් කරන්නෙ
එවැනි වැඩ. ඒ ශ්‍රමයට ලැබෙන මිල ඇය මට තෑග්ගක් විදියට තිළිණ කරද්දි ලොකු සතුටකින්
භාර ගත්තත් මගේ හිත ඇතුළෙ ලොකු දුකකුත් තිබුණා. ඒ දුක ඇයට කරන අසාධාරණයක්. ඇගේ
ධෛර්යවන්ත ජීවිතය ගැන අපි ආඩම්බර වෙන්න ඕන. සතුටු වෙන්න ඕන ඇත්තටම.
‘‘ඉන්නකො මං ඔයාට හොඳ තෑග්ගක් අරන් දෙනවා. මම කවදාවත් ඔයාට ලොකු තෑග්ගක්
අරන් දීල නැහැනෙ...” ලොකු නංගි කිය කියාමයි උන්නෙ. ඉතින් ඒ තෑග්ග අරන් දීල ඈ විඳින අහිංසක
සතුටට බාධා කරන්නත් මට හිතුණෙ නැහැ.
ගමේ ආවම එහෙ මෙහෙ යන්න හොඳම වාහනේ බයිසිකලය. කාගෙවත් බයිසිකලයක් ඉල්ලගන්න
බැරි වුණාම මම කරන්නෙ එක්කෝ ගේ ඇතුළටම වෙලා ඉන්න එක. නැත්නම් ඇඟටත් හොඳයිනෙ කියල
පයින්ම යනෙන එක... ඒ හින්ද වෙන්න ඇති ලොකු නංගි බයිසිකලයක් අරන් දෙන්න හිතුවෙ.
‘‘ඔයාට දැන් කිරිල්ලියක් වගේ හිතේ හැටියට ගම වටේ යන්න පුළුවන්” ලොකු නංගි කිව්වා. ඇත්තටම මං මේ සතිඅන්තෙ කිරිල්ලියක් වගේ සැහැල්ලුවෙන්
මහගෙවල්වල ගියා. පල්ලි ගියා... අලුත් බයිසිකලේ. හැමෝටම කිව්වත් එක්ක ලොකු නංගි
අරන් දුන්නෙ කියල හරිම ආඩම්බරෙන්.
..........................................
අපේ ගමෙත් කාලෙන් කාලෙට එක එක ක්‍රීඩා. මේ දවස්වල බැඩ්මින්ටන්. සෙනසුරාදා
හැන්දෑවෙ මමත් ගියා සෙල්ලම් කරන්න. මං හිතන්නෙ බැඩ්මින්ටන් පිත්තක් අල්ලන්නෙත්
අවුරුදු ගාණකින්... ඒත් තාමත් මං දක්ෂ ක්‍රීඩිකාවක්නෙ. ඒ බව පැහැදිලි වුණා.
හැබැයි කොන්දෙ කැක්කුම වැඩි වුණා...
..........................................
පල්ලිය හදල අවුරුදු විස්සකට පස්සෙ යාම්තම් අපට උදේ පූජාව දෙන්න පටන් ගත්තා.
ඉරිදා උදේ හයට. කොයිතරම් හොඳද? උදෙන්ම පල්ලි ගිහින් පූජාවට ඉඳල, නෑයින්ගෙ මූණුත්
දැකල කතා බහ කරල උදේ ඉරයි හුළඟයි එක්ක ගෙදර එන එක හරිම සුන්දර වැඩක්....
තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග කියන්නේ නිකන්ද..
ReplyDeleteලස්සන කතාව අක්කේ..