By Emile Munier |
2014 ජූලි 05
තනියෙන් ඉන්න අපේ ගෙදර
සරසවි ජීවිතේ සටහන් එකතු කළ ඉපැරණි පොත් පෙට්ටියක් අස්
කළා අද.. 2004 න් පස්සෙ ඒ සටහන් ගොන්නට අත තියලවත් නැහැ. ඉගෙනීමයි රස්සාවයි
කොහෙත්ම එකට ගැළපිලා නොයන ඓශ්චර්යමත් රටක ආයෙමත් ඒ සටහන්වලට වැදගත්කමක් නොලැබෙන බව
දැන දැනම උණත් පරිස්සම් කරල තියාගත්තෙ සටහන් අතර ලියැවුණු කවි නිසා. ඉඳහිට
ලියන ලිපියකට වැදගත්වන යමක් තියෙන්නත් ඉඩ ඇති නිසා...
සටහන් අතර තිබුණා දියසායම් චිත්‍රයක්.. ඇස්වල කඳුළු
පුරවගත්ත යුවතියක්.. යුවතිය වටේම කවි ඉහිරිලා...
චූටි දෝණිට ඕන වුණා ඒ වගේම චිත්‍රයක් මං ලව්ව අන්ඳගන්න..
එකක් ඇන්දා.. හරි ගියෙ නැහැ...
‘‘ඒක එපා.. කැතයි.. ලස්සන එකක් ඕන..” දෝණි මූණ ඇඹුල් කර ගත්තා.
‘‘දැන් ගොඩක් කාලෙකින් චිත්‍ර ඇන්දෙ නැහැනෙ මැණික.. මම්මට
දැන් චිත්‍ර අඳින්න බෑ.. පුරුදු නෑ..” මං කිව්වා.
‘‘ඉතින් අර ලස්සනට ඇඳල තියෙන්නෙ.. පුරුදු වෙන්නකො..” දෝණිට චිත්‍රයක් ඕනෙම වුණා.. ඉතින් මං
ආයෙමත් ඇන්දා.. හැබැයි කඳුළු පිරුණු මූණක් නෙවෙයි.. හිනා පිරුණු මූණක්.. කඳුළු හරි
වටිනවා කියල දන්නවා දැන් මම.. ඒ නිසා නිකරුණේ කඳුළු හෙලන්නෙ නෑ...
මොන හැලහැප්පීම් මැද්දෙ උණත් ජීවිතෙන් අතෑරුණේ නැත්තෙ
කවිය.... චිත්‍ර ඇඳිල්ල අමතක කරල දැම්ම එක ගැන නම් දුකයි...
කවි ටිකකුත් හමු වුණා... මේ 2000 වසරේ සටහන්
අතරින් හමුවුණු කවියක්... මොන හේතුවක් නිසා මෙහෙම කවියක් ලියවුණාද කියල නම් මතක
නැහැ... ඒ කාලෙ කවි කියවද්දි දැන් ලැජ්ජත් හිතෙනවා..
මේ කඳුළු ගඟට
ඉහළින් ඇයි පායනු පුන් සඳ
සුදු සඳ කිරණට
හැකි වෙද සිඳිනට කඳුලැලි ගඟ
ඔය කඳුළු ගගේ පතුල සැඟව ඇත්තේ මුතු කැට
ඒ මුතු කැට අහුලන්නට මට අවසර දෙනවද...
කදුළු මිසක මෙතෙක්
නොදුටුවෙමි මේ මුතු කැට
ඒ කදුළු මැදට
සිනා ගෙනෙන මුතු අහුර ය ඔබ...
නෙතේ රැඳෙන තුරු කඳුලත් මුතු කැටයක් වගේ
දිය බිඳුවක් වී නොවැටී තිබුණොත් හරි අගේ ......
මුතුකැට අහුලා
එකිනෙක අමුණා මුතුහර
ඔබ දිනෙක යාවි
අරගෙන මට උරුම කඳුළු ගඟ
ඔබේ කඳුළු සෙනෙහ සිතින් දෝතට ගෙන මම
මුතුහර ඔබ ගෙළ පළඳමි සැක සංකා හැර.......
..............................................
..............................................
‘‘දුවේ...දුවේ”
කියන හඬට
මං ගෙයින් එළියට හිස පොවල බැලවා.. නිලමෙ අත්තගෙ බාල දුව.. බයිසිකලෙත් අල්ලගෙන පාර
අද්දර..
‘‘ඔයාට
දං ටිකක් දෙන්නද? ” ඈ හිනා වෙවී අහනවා.
‘‘අනේ
හා.. ” මං ඉක්මණින් ළගට ගියා. දං ගෙඩියක් දකින්නෙත් කාලෙකින්..
කිරි අල
කොලයක් ඉරටුවකින් අමුණල ගොටුවක් හදල ඒකෙ ඉදුණු දං අහුරක්.. ඈ මා අත තිබ්බා.. මට
හරි ආදරේ හිතුණා.. දං නිසාම නෙවෙයි.. ඒ සෙනෙහස නිසා...
පුංචිම
කාලෙත් මමයි නංගියි එහෙ දුවනවා.. වෙරළු අහුලන්න. සමහර දාට කන්න තියෙන දේකුත් දීල
තේත් හදල දෙනවා.. ඒ ගමේකම තාමත් මෙහෙම හරි රැකිල තියෙන එක කොයි තරම් දෙයක් ද?
No comments:
Post a Comment