මෑතක
ඉඳන් චූටි දෝණි එක්ක සෙල්ලම් කරන්න එන දැරිය නෙත්මි කාගෙ කවුද මං දැනන් උන්නෙ නෑ. ගමට
මෑතක ආව දැරියක්. චූටි මිමීගෙ දාංගලේ, වසකම් ඉවසීමෙන් විඳගන්න, බැරිම තැන ‘‘ඔන්න
මං ගෙදර යනවා මිමී“ කියල පොඩි තර්ජනයක් කරන, ඒත් එහෙම නොයන මේ දැරිය ගැන මගෙ හිතේ
පැහැදීමක් තිබුණා. නෙත්මි ඉන්නවනම් චුටි මිමීව බලාගන්න එක ඒ තරම් අමාරු නැහැ. මොකද
දෙන්න එක්ක සෙල්ලම් කරනවා මිස මාව ගාණක්වත් නැහැ. මටත් මගේ වැඩක් කරන ගමන් එයාල
දිහා ඩිංගක් ඇහැ ගහන් උන්නම ඇති.
අද
සෙල්ලම අතරතුර මට නෙත්මි මෙහෙම කියනවා ඇහුණා.
‘‘මිමී
අපරාදෙ නේද මං ඔයාගෙ අක්ක වුණේ නැත්තෙ.” ඒ වගේ ප්‍රශ්නෙකට උත්තර දෙන්න තරම් මිමීට
තේරුමක් නැහැ. එයාගෙ ප්‍රතිචාර කොහොමද පේන මානෙක නෙවෙයි මං උන්නෙත්. ආයෙම නෙත්මි ම
කියනවා.
‘‘කමක්
නෑ ඉතින්. මං ඔයාට වඩා ලොකුයිනෙ ඒ හින්ද මං ඔයාගෙ අක්කනෙ.” ඉන්පස්සෙ දෙන්න එක්ක
සෙල්ලම.
එක
වෙලාවක චූටි දෝණි දුවගෙන ඇවිත් මගෙ උකුලට පැන්නා. ‘‘මගේ රන් කැටේනෙ ඔයා.” මං එයාව
තුරුල් කරගෙන ඉඹගත්තා. එයා ආයෙම මගේ තුරුලෙන් මිදිලා ඈතට දිව්වා. මේ අතර නෙත්මි
හෙමිහිට ඇවිත් මගේ උකුළෙන් වාඩි වුණා. ඒ හොයන්නෙ ආදරේ. මම අත්දෙකින්ම නෙත්මිවත් තුරුල්
කරගත්තා. චූටි මිමීට ඉරිසියා හිතිලා. ඉක්මණින් දුවගෙන ආවා.
‘‘එයාව
තුරුල් කරගන්න එපා..” චූටි මිමී මට සැර වුණා.
“පව්නෙ
මැණික ඉතින් ඔයාගෙ යාළුවනෙ. ඔයාත් එන්න මේ පැත්තෙන්.” මම දෙන්නවම උකුලට ගත්තා. මිමීට
මං දක්වන ආදරේ ඇයත් බලාපොරොත්තු වෙන බව දැණුනා. ඉතින් මං ඈ ගැනත් අවධානය දුන්නා. නෙත්මි
ගැන ටිකක් හොයල බලන්න හිතුණෙ මට ඉන්පස්සෙ.
නෙත්මි
එක වසරෙ. එයාගෙ තාත්තා නැති වෙලාලු. අම්ම රටලු. දැන් ඉන්නෙ ආච්චි ළඟලු. ආච්චිත්
සැරයිලු. ඒ නිසා වෙන්න ඇති කෙල්ල කන්නවත් ගෙදර යන්න හිතන්නැත්තෙ.
පව් අහිංසක දරුවො. ආදරයයි, අවධානයයි තමයි දරුවො බලාපොරොත්තු වෙන්නෙ. අද දරුවන්ට නොලැබෙන්නෙත් ඒ ටිකම තමයි.
පවු ඔය කාලේ දරුවන්ට ඕන එයාලත් එක්කම එයාලට ආදරෙන් ලග ඉන්න කෙනෙක්.. එහෙම නැති උනාම ඉතින් ළමයින්ගේ ජීවිතේ මේ කාලේ ඉදන්ම වෙන්නේ හොද දේවල් නෙමෙයි..
ReplyDelete