Sunday, June 29, 2014

බාලවියෙන් සිනාවක්, කඳුලක් ... සර්පයා කියන්නෙ යක්ෂයා

By Daniel Gerhartz

2014.06.29

සති අන්තය තනියෙන් ඉන්න අපේ ගෙදර..

චූටි දුවගෙ උපන්දිනේ නිසා ඊයෙ දවස එහෙයි මෙහෙයි අතර ගෙවුණා..

බාල සන්දියෙ මිතුරියක් ආවා. අවුරුදු පහ හයකට පස්සෙ මේ දැක්කෙ. ඊජිප්තුවෙ ගාමන්ට් එකක වැඩලු අවුරුදු පහක් තිස්සෙ. ආයෙම යනවලු... ‘‘මගේ අම්මයි තාත්තයි සහෝදර සහෝදරියොයි ඉන්නෙ මෙහෙනෙ. ඉතින් බලල යන්න ආවා. ඈ කිව්වා.. ඈ  ඒ කියන්නෙ අපේ පවුල ගැන.. පුංචි සන්දියෙම තාත්ත දාල ගියාට පස්සෙ ඇය අපේ පවුලෙම දරුවෙක් ගානට ජීවිතය බෙදා ගත්ත මතකයි මට..

අපේ ළමා කාලෙ ගෙවුණෙ එකට. සෙල්ලම් කළේ ඉස්කෝලෙ ගියේ එකට.. ඒ අතීතය හරිම සුන්දරයි.. ඒ අම්මයි දූයි ජීවිතේට මුහුණ දුන්නෙ තනියම.. කියන්න තරම් කරදරයකුත් නැතිව ජීවත් වුණා පිළිවෙලට..

එහෙම හිටිය අම්ම යාම්තම් නව යෞවනය මෝරද්දිම දූට මනමාලයෙක් හොයල දුන්නෙ ඇයි කියල අදටත් හිතා ගන්න බෑ මට.. ඒ අම්ම අද ආගිය අතක් හොයා ගන්නත් නෑ. සමහර විට දුවගෙ ජීවිතේට ඈ අතින් සිදු වුණ බරපතල වරද ගැන ඈ පසුතැවෙනවත් ඇති... 

විවාහයත් එක්ක ගේ දොරත් අහිමි කරගෙන ගමෙන් ගිය ඒ බාල වියේ මිතුරිය කටුක ජීවිතයක් මැද්දෙන් ආව ගමන අද අවුරුදු 18 ක පුතෙක් ඉන්න මවක්.. ඒත් තවමත් සැනසීම කියන එක ඇයට නම් හීනයක්.. ඒක එහෙම වෙද්දිත් ඈ අතීතය මතක් කරල හිනාවුණේ හදවතින්ම...

ඉතින් උදේ වරුවම ආගිය තොරතුරු කතා කරන්න කැප වෙද්දි හිත යට කරන්න නියමිත වැඩ ගොඩකුත් පෙරළි කර කර වධ දුන්නා.. මම මට ම තරවටු කළා.

‘‘වැඩ කොහොම කර ගන්න බැරි ද? මනුෂ්‍ය සම්බන්ධතා ඊට වඩා වටින්නෙ නැද්ද?
..................................

අද උදෙන්ම මතක් වුණේ උපන්දිනයක් තියෙන වග.. මෑතක බොහොම සමීප වුණු මල්ලියෙකුගෙ.. දුරකථනයත් අරගෙන කුස්සියෙ දොර උළුවස්සට හේත්තු වෙලා මම කතා කරමින් උන්නෙ..

ගේ පිටිපස්සෙ ළඳු කැලේ එන්න එන්නම මෝරනවා.. ගේ අස්සටම එනවා... ඒත් සමනල්ලු පිරිලා... චූටි කුරුල්ලොත් ඉන්නවා. කපන්නත් දුකයි..

‘‘මං කරුණෙ මාමට එන්න කිව්වා පිටිපස්සෙ කැලේ සුද්ද කරන්න.. පතහ ළග ගහත් කපල දාමු” තාත්තා කිව්වෙ අද උදේ.

‘‘කැලේ සුද්ද කරල දාමු.. ඒත් ගහ කපන්න එපා.. ඒ ගහයි වැල් ගොන්නයි තිබුණාවෙ. ඒකෙ චූටි කුරුල්ලො කූඩු හදන් ඉන්නවා.” මං එවෙලෙත් තාත්තට කිව්වා...

කුරුල්ලන්ගෙ දාංගලයයි, පියාඹන චූටි සමනල්ලුයි දිහා බලාගෙන කතා කරමින් ඉද්දි මං ගැස්සුණා එකපාරටම...

‘‘ඇයි?”

‘‘නෑ... සර්පයෙක් වගේ මං දැක්කෙ.. දිග වළිගයක් තියෙන කටුස්සෙක්.. ඔලුව රතුම රතු පාටයි..” මං ගැස්සිලා උන්නෙ කටුසු වලිගයට...

‘‘හැමදාමත් මං ප්‍රාර්ථනා කරන්නෙ සර්පයෙක් නම් දකින්න වෙන්න එපා කියල. මං හරි බයයි සර්පයින්ට..” මං කිව්වා.

‘‘සර්පයා කියන්නෙ යක්ෂයා..” ඔහු එක්වරම කිව්වා.

‘‘ආහ්... ඇත්ත නේන්නං.. ”


මං සර්පයින්ට බයයි... සර්පයින්ට බය වීමත්,  කවදාවත් නොදකින්න ප්‍රාර්ථනා කිරීමත් මට ම නොතේරෙන යටි හිතේ බලපෑමක්ද? ඒක මාරයි.. කෙටිකතාවක් ලියන්න හොඳ අදහසක්... මට හිතුණා. 

Thursday, June 26, 2014

දෙවියන් සමඟ.....


 
2014.06.25

මේ දවස්වල ඉන්නෙ පල්ලිය ආසන්නයෙම නිසා හැමදාම උදේට පල්ලියට ගොඩවෙලා නිස්කලංක මිනිත්තු කිහිපයක් ගත කරලයි වැඩට පිටත් වෙන්නෙ. නිස්කලංක දැහැන බිඳ වැටුණා අද පල්ලියට එන යන මුහුණු දැක්කම...

වැඩට යන්න කළියෙන් නානාප්‍රකාර වාහනවලින් වගේම පයිනුත් පල්ලියට ගොඩ වෙලා යන ජනකාය හිමිදිරියෙ ඉඳන්ම අඩුවක් නැහැ..

මහා බරක් හිස මත පටවා ගත්ත වගේ උරහිස් නවාගෙන වැඳ වැටෙන මිනිසුන්....

මුහුණේ මහා දුක් අඳුරක් එළාගෙන පිළිම දිහා බලන් ඉන්න මිනිසුන්...

ශ්‍රද්ධාවටද, බයටද, දුකටද මන්දා... හඳුනාගත නොහැකි හැඟීම්වලින් ඇද වුණු මුහුණු සහිත මිනිසුන්...

දෙවියන්ට හායි කියල ආව වේගයෙන්ම පිටවෙලා යන මිනිසුන්...

කප්පරක් ඉල්ලීම්, දුක් අඳෝනා, ප්‍රශ්න.... දෙවියන් ඉස්සරහ ගොඩගැහෙනවා ඇති..

කාගෙවත් මුහුණක හිනාවක් නැහැ... මේ තරම් නැවුම් උදෑසනක් වෙලත්... හිනා නැති රොබෝ මූණු... දෙවියන්ටත් අනේ අපොයි කියල හිතෙනවා ඇති...

මම නම් කැමති සෙනග අඩු වෙලාවට පල්ලි යන්න.. දෙවියන්ට කරන්න චෝදනාවත්, බාර දෙන්න දුක් ගැනවිලිවත් අරන් යන්නෙ නෑ මම... පල්ලියට ගොඩ වුණාම හිතට දැනෙන්නෙ සැහැල්ලුවක්.. හිතේ පිපෙනවා නිස්කංලක හිනාවක්... ඒ සැහැල්ලුව විඳින්නයි මං පල්ලි යන්නෙ...  

‘‘මේ ආදරවන්ත ලස්සන ජීවිතය මට දුන්නට ස්තුතියි ජේසුනී.. ඉඳහිට දවසක ඇරුණම පල්ලියට ගොඩ වෙන බොහෝ අවස්ථාවල මගේ හිතට නිරායාසයෙන් එන සිතුවිල්ල මේ...

 

Tuesday, June 24, 2014

මවකගෙ කඳුළ.. මල් තුහින.. අළුත් නවාතැන...


2014 ජුනි 21

“මං ඔයාල වෙනුවෙන් කොයි තරම් කැපකිරීම් කරල තියෙනවද? මං වෙනුවෙන් එක දවසක් කැප කරන්න ඔයාලට බැරිද?...”

අම්මා කෙනෙකුගේ හිතේ අමාරුව වචනවලට පෙරළෙන හැටි මං අහන් උන්නා.

“ඔයාලගෙන් උදව් ඉල්ලන්න මං තව වැඩි දවසක් ජීවත් වෙන්නෙ නෑ....” ඒ අම්මගෙ කටහඬ බිඳුණා.

අම්මා කෙනෙකුගෙ දුකට කඳුළු ඉනුවෙ මගේ ඇස්වල‍ට..

අපේ අම්මා අසනීපෙන් උන්නු පහුගිය මාස තුනේ අපි එයාව බලාගත්තෙ දරුවෙක් ගානට... මව්පිය සෙනෙහස, දරු සෙනෙහස මේව අවලංගු සමාජ සම්බන්ධතා ගොන්නට වැටෙනවට වඩා මං ආසයි ඒ බැදීම් ආත්මාර්ථයෙන් තොරව ආදරය, නිදහස පුරවාගෙන තවදුරටත් පවතිනවා දකින්න.... ඒක බොහොම සාම්ප්‍රදායික සිතුවිල්ලක් කියල කෙනෙකුට හිතෙන්නත් පුළුවන්... ලෝකය යහපත් තැනක් වෙන්න නම් අපට මේ මානුෂික සම්බන්ධතා බැහැර කරන්න බැහැ නේද?



2014 ජුනි 22‍

“මල් තුහින නොවේ මේ යාපනේ” නයනහාරිගේ ඡායාරූප ප්‍රදර්ශනය බලන්න ලයනල් වෙන්ඩට් එකට ගියා සවස් වරුවෙ. ළ.ක්‍රි.වී. යෙ නංගිලා දෙන්නත් එක්කම.... ලයනල් වෙන්ටඩ් එකට භෞතිකව ඇතුල් නොවුණත් හදවතින් ඇතුල් වුණු මංජුල අයිය අපට වඩා හොදට ඡායාරූප කියවල තියෙනවා... ඒ නිසයි ඔහු මෙහෙම කියන්නෙ...

“නයනහාරාගේ යාපනේ පින්තූර වලද දරුවන් හිනැහේ.  ඒ හිනාවන් වෙනස් ය. අතවනා මවන ලද සිනහවන් නොවේ.  දරුවන් සිනාසෙන මොහොත ඇය දනී.  සිනහවේ ප්‍රභේද දන්නී ය.  ෆිට් කියන සිනහවන්ගෙන් මහපොළොවේ වැලි හැලෙයි.  මල් නටු හපන සිනහ මල් මත වේදනාවේ තටු මැවෙයි.  මේ නම් නෙතු අතරින් පිනි විසිරෙන යාපනයකි.  මේ නම් පිනි අතරින් ගිනි විසිරෙන යාපනයකි. 

දරුවන් අකුරු ලියනා - චිත්‍ර අඳිනා මොහොතද, දරුවන් අහර බුදිනා මොහොතද, දරුවන් වැඩ කරනා මොහොතද, දරුවන් කල්පනා කරනා මොහොතද ඇය දනී.  ඔවුන් අබියස හිටගතයුතු නිෂ්චිත මොහොත දන්නා බැවිනි.  දරුවන් වේදනාව ගසා බසා දමමින් සෙල්ලම් කරනා මොහොතද,  සෙල්ලම් කරන දරුවන් දෙස බලා සිටිනා දරුවන්ගේ සෙල්ලම් නැති මොහොතද ඇයට එකවර හසුවන්නේ එබැවිනි.”

නයනහාරා කැමරා ඇස මෙතරම්ම සියුම් වෙන්නෙ ඇගේ හදවතේ සංවේදීභාවයත් එක්ක... ඡායාරූපවලට හදවතටම කතා කරන්න ඉඩ දීලා සමාධිගත හෝරාවකින් පස්සෙ නයනාහාරි එක්කත් සංවාදගත වෙලා අපි පයින්ම මරදාන පල්ලියට ආපහු ආවා...

හැන්දෑව ගත වුණේ පොල්වත්ත පල්ලියෙ. ළ.ක්‍රි.වී. දරුවන්ගෙ ගිනිමැලය එක්ක. දරුවන්ගෙ නර්තන අංග, නාට්‍ය කාලෙකට පස්සෙ හිත ළ.ක්‍රි.වී. මතකයන්ගෙන් පිරෙව්වා. කැම්පස් එන්න කළින් ගමේ ළමයි එක්ක කළ අවසන් ගිනිමැලය මතක් උණා. ඒ 1999 වසර. එදා ගිනිමැලය නිම වුණාම ළගට ආව අම්ම කෙනෙක් මෙහෙම කිව්වා.

“ඔයා ගමෙන් ගියාම අපේ දරුවන්ට තමයි පාඩු. අපේ ළමයින්ට මෙහෙම දක්ෂකම් තියෙනවා කියලවත් අපි දැනන් උන්නෙ නැහැනෙ...”



2014 ජුනි 23

ටික දවසකට අළුත් නවාතැනක්.. ඇත්තටම අළුත් නැහැ. නිත්‍ය වාසස්ථානයක් නොවුණත් ගෙදර වගේම අවුරුදු පහළොවක් තිස්සෙ ජීවිතයට සමීප වුණු තැනක්. ඒ මරදාන පාතිමා දෙව්මැදුරු බිමේ ළ.ක්‍රි.වී. පියස.... කාර්යාලයට විණාඩි 05 ක දුර... කොයි තරම් නිදහසක්ද? කාලය කොයි තරම් ඉතිරිද?

ඉස්සර තිබුණු සිංහල උළු හෙවිල්ලපු පුංචි ගෙදර වෙනුවට දැන් තියෙන්නෙ මහල් කිහිපයක නවීන ගොඩනැගිල්ලක්.. ඒ පරණ පුංචි ගෙදර පිරිල තිබුණු සරල, නිදහස් බව දැන් ගිලිහිලාදෝ කියලත් හිතෙනවා. මං තාමත් ආදරේ අපි මුලින්ම ළ.ක්‍රි.වී. කාර්යාලය විදියට දැක්ක ඒ පුංචි ගෙදරට‍... ඒත් මේ විසල් ගොඩනැගිල්ල ඇතුළෙ ආදරණීය හදවත් ඇති මිනිසුන් ටික කලකට නවාතැන් ගන්න ආව මාව බො‍හොම උණුසුම්ව පිළිගත්තා‍‍‍...  

හැන්දෑවෙ සිස්ට ලක්මාලි එක්ක පල්ලිය වටේ සක්මන් කරල සිමෙන්ති බංකුවෙ වාඩිවෙලා ආගිය තොරතුරු කතා කළා.. සුන්දර මොහොතක්... අවුරුදු දහයක මිත්‍රත්වයක අසිරිය...


රාත්‍රී කෑමෙන් පස්සෙ The Book Thief චිත්‍රපටිය බැලුවා‍‍‍.. හරිම ලස්සනයි. කටුක දුක්ඛ දෝමනස්සයන් මැද්දෙ වුණත් ආදරය, මනුස්සකම පිරිලා ඉතිරිලා යන හැටි... ඇයි අපේ රටේ මේ වගේ චිත්‍රපටි නිපදවෙන්නෙ නැත්තෙ.. මනුෂ්‍යත්වයේ උත්තරීතර බව කියැවෙන චිත්‍රපටි... එහෙම නොවෙන්නෙ අපේ සමාජයේ මනුස්සකම පිරිහිලා නිසාද? එහෙම නැත්නම් මනුෂ්‍යත්වය විඳින්න තරම් නිර්මාණකරුවන් සංවේදී නැති නිසාද?