Sunday, August 24, 2014

හෙළාගන්නට නොහැකි කඳුළු

පලා හදවත
හතරට පහට
ගැඹුරට
සිනාසෙන රඟ ඔබ
කිසිවක් නොදන්නා

කිරි දරුවකු විලස.... 


2014.08.25

Saturday, August 23, 2014

සිහිනෙන්ම මිය ඇදෙමි...


සිහිනයක සිහිනයකි
දෑස් අග හිනැහෙන
තෑග්ගට කඳුළු ම
අරන් එන...

නිම් නොවේවා රාත්‍රිය
සිහිනයේ අත්තටු මුදාලන
අවදිවනු ‍නොරිසියෙන්
තව තවත් ගුලිවෙමි‍...

සිහිනයෙන් හිනැහෙමින්
සිහිනයට හිනැහෙමින්
හදක තෙත ඉවසමින්

සිහිනෙන්ම මිය ඇදෙමි...

Friday, August 22, 2014

සිහින හමුවන දවසක්....


සිහිනෙකින්වත් දකින්නට නොසිතූ නොපැතූ සිහින හමුවන, සිහින සැබෑ වන සිහිනමය දවස් ජීවිතේ ඇත.

අද එවැනි දවසකි.

කුළුඳුලේ මව් පදවිය ලබන්නාක් වැනි සතුටක් දැනේ. 

ස්වර්ගීය සැලසුම් මෙතරම්ම විස්මිත ද? 

2014.08.23

Saturday, August 16, 2014

මමත් තවම ළමයෙක්...

By Pino Deainy

2014.08.16

කුරුණෑගල පදවි දහම් පාසල් රැලිය අද යකඩපත දේවස්ථානයෙදි පැවැත්වුණා. ළමයි එක්දාස්පන්සීයක් විතර ඉන්න ඇති. ළ.ක්‍රි.වී. යට පැවරිලා තිබුණෙ උදෙන්ම ගීත භාවනාවක් කරන්න. මේ තරම් ළමයි ගොඩක් එක්ක මොන ගීත භාවනාද? අපි ඒකට ගීතිකා කිහිපයකුත්, ළමා ගීයක්, තවත් ගීත දෙකක් එකතු කර ගත්තා. සමස්ත වැඩසටහනේ මූලික තේමාව වුණේ ආදරය..........

ළමා ගී වැඩසටහනක්ම කරන්න තිබුණ නම් වඩා හොඳයි.... ඒ වෙලාවත්, ළමයි සංඛ්‍යාවත් ගීත භාවනාවකට සුදුසු නැහැ... නමුත් අපි උපරිම උත්සාහයක් දැරුවා සහ එය සාර්ථකයි කියල හිතෙනවා...

වැඩේ ඉවර වෙලා ස්ටේජ් එකෙන් බහිද්දි ඈන්.. අපි උසස් පෙළ පන්තියෙදි තමයි වඩාම දැන අඳුන ගත්තෙ. දැන් එයා අම්ම කෙනෙක්, උස මහත පිරිපුන්...

‘‘තාම පොඩි එකා වගේ ස්ටේජ් එකේ නටනවා නේද? ඈ හිනාවෙලා කිව්වා.

‘‘පොඩියි නේන්නම්, දාසයයි මාසයයි. මමත් හිනාවෙලා කිව්වා.

ඇත්තටම ළමයි එක්ක වැඩ කරද්දි, ළමයි එක්කම ඉද්දි අපිත් ළමයි වෙනවා. වයස යනව දැනෙන්නෙ නැහැ. මට දැනටවත් හිතෙන්නෙ නැහැ මට වයසයි කියල.... ඒත් ළමා වැඩසටහන්වලට ගියාම දැන් දරුවො ඇන්ටි කියනවා, ඉස්සර වගේ අක්ක නොකියන එක ගැන හීනියට දුකක් දැනී නොදැනී යනවා. ඒක තමයි යථාර්ථය. ඇත්තටම දැන් මම නැන්දා කෙනෙක් දරුවන්ට....... අක්කා කෙනෙක් නෙවෙයි.........

ඉල්මිණි නංගිගෙ අම්මා ඇඹරැල්ලා බීම එකක් හදල තිබුණා... අපට... හරිම රසයි, මං පළමු වතාවට ඇඹරැල්ලවලින් හැදූ බීම බිව්වෙ... ලංකාවෙ කොහේ කොතැනක ගියත් ළක්‍රිවි පවුලෙ කෙනෙක් ඉන්නවා.. ඒකම ජීවිතේ ලැබූ කොයි තරම් වාසනාවනක්ද?

....................

අද වැඩසටහන නිම වෙලා යන අතරෙ කට්ටියම මගේ ගෙදර ( තනියෙන් ඉන්න අපේ ගෙදර ) ආවා... ෆාද, සිස්ට, ප්‍රභාත් අයිය, නංගිලා... මුල්ම වතාවට ආවෙ. එයාලට සතුටුයි. හරිම නිදහස්, නිස්කලංකයි කිව්වා. සිස්ට කියනවා ‘‘මේ ගෙදර ඉඳල කොළඹ එන්න නොහිතෙන එක පුදුමයක් නෙවෙයි කියල.... නිදහසේ ඉන්න ඕන වුණාම එයාත් එනවලු..

අනිවාර්යයෙන්ම.....  ගෙට පදිංචි වුණ මුල්ම කාලෙ ලක්මාල් මල්ලි කමෙන්ට් කරල තිබුණ මතකයි ඔය ගෙදර දොර කවදාවත් වහන්න වෙන්නෙ නෑ කියල.... ඒත් ඉතින් දැන් නම් වැඩිපුරම තියෙන්නෙ වහල තමයි.

ඇත්තටම මට ඕන වුණේ මගේ ගෙදර ආදරය, නිදහස පිරුණු තැනක් කරන්න... ලියන, කියවන අයට, හිතට දුකක් දැණුනම සැහැල්ලුවක් ඕන වෙන හිත මිතුරු හැමදෙනාට ඇවිත් ඉන්න........

ඒත් තවත් ගොඩක් වැඩ තියෙනවා කරගන්න. ඒ නිසා කාටවත් ඇරයුම් කරන්න විදිහක් නැහැ. ඒක එහෙමයි කියල මහා ගොඩක් ණය අරගෙන හිතේ නිස්කලංකෙ නැති කරගන්නත් බෑ මට.. ණයකාරියක් වීම හිතට මහ බරක්. හෙමිහිට වැඩ ටික කරගන්නවා...


Friday, August 15, 2014

වීනු යන්න ගියා...........



‘‘දූගෙ නම වීනු තිලංසා” ලක්ෂ්මි එහෙම කියද්දිම ඒ නම මගෙ හිතේ ඇඳුණා. ඒ වගේ ලස්සන නමක් දාන්න මටත් දුවෙක් හිටිය නම් කියලත් නොහිතුණා නෙවෙයි..

අවුරුදු දෙකක්ම කප්පරක් දුක් විඳල පළ නල රැක ගත්ත වීනු දුව තවත් මට මේ දුක් විඳින්න බෑ කියන්න වගේ අන්තිම හුස්ම පොදත් හිස් අහසට පා කරල ඇස් පියා ගත්තා...

එයාට අවුරුද්දක් පිරුණට පස්සෙ බාරයක් ඔප්පු කරන්න පල්ලි එක්කරන් ආ දවසෙ හිනා වෙවී දාංගල් කරපු හැටි මතකයි තාමත් මට.... කෙට්ටුම කෙට්ටු සිඟිති ශරීරයක් දරාගෙන වුණත් එයා කොයි තරම් ලස්සනට හිනා වුණාද?

මං හිතුවෙ චූටි වීනු මේ වතාවෙත් දුෂ්කර මග ගෙවලා කොහොම හරි පණනල රැක ගනියි කියල....

ලක්ෂ්මි නොනවත්වාම ඇඬුවෙ මගෙ පැටිය මට ඕනෙ, මගෙ දුව මට ඕනෙ කියලමයි.‘ මට ආයෙ කිසිම ආත්මෙක අම්ම කෙනෙක් වෙන්න ඕන නැහැ.. මට මේ වගේ දුකක් දරාගන්න බෑ ආයෙම කියල එයා කිව්වත්, මං ප්‍රාර්ථනා කළේ නිරෝගී දරුවෙක් වෙලා වීනු ආයෙම එයාගෙම අම්මට ලැබෙන්න ඕන කියලමයි................

2014.08.14

Tuesday, August 12, 2014

සන්තාන සංහිඳීම..........


2014 අගෝස්තු 12
 අද දුම්රිය ප්‍රමාදයි.. මරදානෙන් බැහැල වේගයෙන් ඇවිදගෙන එද්දි පුංචි සිල්ලර කඩයෙ මුස්ලිම් මුදලාලි මාමා කතා කළා.
‘‘මිස්... මිස්..”
මම හිනාවෙලා නැවතුණා...
‘‘ වටලප්පං ගෙනාවා...ඔහු මගේ අතට කවරයක් දෙමින් පැවසුවා.
‘‘ආ......... ෂෝක්නෙ.... මට ම ද ගෙනාවෙ” මං ඇහුවා.
ඔහු හිස සැලුවා.. 
ගිය අවුරුද්දෙත් රාමසාන් නිමවෙලා මේ වගේම මං වැඩට එන උදයක ඔහු මට කතා කරල පුංචි ඇලුමිනියම් බඳුනක වටලප්පම් දුන්නා. ඒ වෙද්දි ඇත්තටම ඒ සිල්ලර කඩයෙන් මම සත පහක දෙයක් අරන් තිබුණෙ නැහැ. හැමදාම උදේට හිනාවෙලා ගුඩ්මෝනින් කියන මනුස්සකමට ලැබුණු රස ම රස තෑග්ගක් ඒ.....
ඒ සැරේ හිස් බඳුන මං ආපහු ගෙනිහින් දුන්නෙ පුංචි තෑග්ගකුත් එක්ක.
අලුත්ගම ගිනිගත්ත දවස්වල ඒ මුහුණෙ පිරිල ඉතිරිලා තිබුණෙ මහා බයක්... නැවතිලා වචනයක් දෙකක් කතා කරල එන්න අමතක කළේ නැහැ මම.... මං හිතන්නෙ හිනාවකට, සුහද කතාබහට ඇති කරන්න පුළුවන් අධ්‍යාත්මික සංහිඳීම වචනයෙන් විස්තර කරන්න අමාරුයි.
ඉතින් මේ රාමසාන් උත්සවයටත් ඒ මාමට මාව මතක් වෙලා... නිහතමානී සතුටක් දැනෙනවා හිතට..
...................
කාර්යාල පේන මානෙ බස් නැවතුමෙන් බැස්සම හැමදාම දකිනව අසරණ සීයා කෙනෙක්. මේ වැහි බීරුම අස්සෙත් කණුවකට හේත්තු වෙලා සීතලේ ගැහි ගැහී ඉද්දි මං එතන නැවතුණේ  ඉබේම.
 ‘‘සීයා උදේට කෑවද?
“තාම නෑ..” උන්දැ බොහොම අහිංසකව කිව්වෙ. ඒක මවාපෑමක් නෙවෙයි, ඇත්තටම අසරණ අහිංසක මනුස්සයෙක් බව අපට දැනිල තිබුණා.
“මොනවද උදේට කන්න කැමති..”
“ඉඳිආප්ප....”
“ කීයක් විතර තිබුණොත් ඇත්ද?”
“ දහයක් හොඳටම ඇති.”
මට පුදුමත් හිතුණා. සාමාන්‍යයෙන් කෑම එකක් දෙන්න ගියත් එපා කියල සල්ලි ඉල්ලන, කල දුටු කල වල ඉහගන්න බලන මිනිස්සුන්ගෙන් අඩුවක් නැති ලෝකෙ ඉඳිආප්ප දහයකින් සැනහෙන අහිංසක මනුස්සයෙක්...
ඉඳිආප්ප පාර්සලය අතට ගද්දි හරිම කෘතවේදී බවක් ඒ ඇස්වල තිබුණෙ...
............

රංගි එයාගෙ බ්ලොග් ලිපියෙ මං ගැනත් ලියල තියෙනව දැක්කම සතුටක් දැණුනා. බ්ලොග් එක නිසා මං වගේම තවත් පොත් ගුල්ලො අපමණ සංඛ්‍යාවක් අඳුනගන්න ලැබුණා. ඒ වගේම අපමණක් සුන්දර මිනිසුන් දැන අඳුනගන්න ලැබුණා..  ඒක හරි වාසනාවක්...

Friday, August 1, 2014

සුන්දර සතිඅන්තේ ( ජූලි 26-27)




By Catherine Jeltes
 
26 සෙනසුරාදා

උදෙන්ම මහජන පුස්තකාලයේ පොත් ප්‍රදර්ශනයට ගියා. පොත් ගන්නෙ නෑමයි කියල හිතන් උන්නෙ. ඒත් පොත් දැක්කම ලෝබයි. ඉතින් පොකැට්ටුවට පාඩුයි. කමක් නෑ. ඒත් පොත් නෙ. පොත් කියන්නෙ ආයෝජනයක්. හැමදාමත් වගේ එහෙම හිතල හිත හදාගත්තා. පොත් අතර රස්තියාදු වෙලා ජාතික පුස්තකාලයට ගියා අධ්‍යයන වැඩකට. පරණ පත්තර පිටු අතර සැරිසරන එකත් අපූරු අත්දැකීමක් තමයි. එක දෙයක් පැහැදිලි වෙනවා. ඔලුගෙඩි වෙනස් වුණාට මොකද ඉතිහාසයම තමයි ආපහු කැරකෙන්නෙ.

හවස කොන්වන්ට් ඇවිත් ආයෙම සිස්ට එක්ක විහාරමහාදේවියෙ ඇවිදින්න ගියා. සිස්ට පව්. තියෙන අසනීප මදිවට සීනි වැඩිවෙලා. එයා තරම් අසනීප නිසා දුක් විඳින සිස්ට කෙනෙක් මං තවත් දැකල නැහැ. ඒත් ලස්සනට හිනාවෙලා ඉන්නවා. අපි ඇවිදගෙනම ලයනල් වෙන්ට් එකට ගියා. තේනුවරගෙ මූර්ති ප්‍රදර්ශනය බැලුවා. මම එහෙමම උන්නා Walking Path බලන්න. ඒත් සිස්ට ට නවතින්න විදියක් තිබුණෙ නැහැ. එයා හරිම ආසාවෙන් උන්නෙ. ඒත් අපට වගේ නෙවෙයිනෙ. දෙයක් කරන්න කළින් ගොඩක් හිතන්න ඕන. හොඳ වෙලාවට සිස්ට කෙනෙක් නොවුණෙ කියල මට හිතුණා. පුංචි කාලෙ මටත් එහෙම හීනයක් තිබුණනෙ.

Walking Parth ගැන මට දැණුනු දේ තරුරසියෙ ලියා පළ කළා.

27 ඉරිදා

උදේ වරුව මැසනද් හවුස් එකේ තරුණ කණ්ඩායමක් එක්ක ගතවුණේ. නිර්මල මරිය නිකාය එක්ක මං කළ වැඩ සහ ඒ හරහා ලැබූ ජීවිත අත්දැකීම ගැනයි කතා කරන්න තිබුණෙ. ලේසි නැහැනෙ. අවුරුදු 17 ක් විතරම විවිධ සේවාවන් එක්ක වැඩ කරල තියෙනවනෙ... දවසක් කතා කරන්න හැකි. ඒත් පැය බාගයකින් කතාව නිම කළා.
හවස මීගමුවෙ කෙටි චිත්‍රපට උළෙල. භුපති නලින් හොඳ කතාවක් කළා. මං භුපති දැක්කමයි. කතාවක් ඇහුවමයි.

When Tarkovsky Meet Godard– විරාජ් ලියනආරච්චි
Beyond the Reality–
සුජිත් රාජපක්ෂ
May 18 -
සුපුන් විශ්වබුද්ධි

චිත්‍රපටි තුනත් හොඳයි. ඒ අතර මැයි 18 ට මං වඩාත් කැමතියි. චිත්‍රපට ප්‍රදර්ශනයෙන් පසුව සුපුන්, විරාජ්, භුපති සංවාදය මෙහෙයවූවත් මට ඉක්මණින්ම යන්න සිද්ධ වුණා. මගේ අදහස කෙටියෙන් පළ කරල මං යන්න පිටත් වෙද්දි හතට කිට්ටුයි. මහගෙදරත් බැහැ දැකල, ලොකු නංගිගෙන් රෑ කෑමත් කාල මං මගේ දිව්‍ය විමානයට ගොඩවදිද්දි රෑ නවයයි.

කොයි තරම් සැනසුමක් ද හිතට............................ අවිවේකී වුණත් හරි අපූරු සතිඅන්තයක්........