Sunday, December 21, 2014

දෙසැම්බර තිමිර මඟහැර එන්න.


‘‘මම එක අවුරුද්දක නත්තල් සීයට අඳින්න එපැයි..

එක් සිහිනයකින්
තවත් සිහිනයකට
පාර තනන්න ඔබ
ඒ සිහින මත
පා තබා හෙමිහිට
එනතුරු ඔබ ම
දෑස් දල්වා
බලා සිටින්නට මට.......

හා ඉන්නද? එපාද?
පිළිතුර දනිමි
‘‘එපා

ඒත්...?


2014.12.18

Wednesday, December 3, 2014

සිනා සී ඇවිදින්



මීදුම් කබාය පොරවගෙන
ශිතලෙන් ගැහි ගැහී
මහල්ලෙක් වගේ
වක ගැසී උන්නේ
නොවැම්බරය.....

ඉරු කිරණ ඇඟිලි තුඩගින්
පිරිමදිමින් හිස
සිනා සී ඇවිදින්
අඩි තිය තියා හෙමිහිට
දෙසැම්බර් යෞවනිය.....

කාලෙකට පස්සෙ අද උදේ ඉරු රැස් එක්ක එළියට බැස්සා.......... දීප්තිමත් ආරම්භයක් තිබුණ දවසක්.

සන්ධ්‍යක්කා ගැන ලියැවුණු කවිය බූන්දියේ පිටු අතර හමුවුණා ඊයෙ. ( නොනිම් සන්ධ්‍යාව සතුටුයි හිතට. ඒත් ඇත්තටම ඒ කවියක් නෙවි, කඳුලක්. මට දුකයි එයා ගැන. ඒ වගේම පුදුමයි එයාගෙ ධෛර්යය ගැන....


ඊටත් වඩා සතුටු ඒ කවිය එක්ක බැඳුණු ඔබේ ආශිර්වාදය... 

Sunday, November 30, 2014

දවස් දෙකක්... කඳුළක් සහ හසරැල්ලක්...


මාසික සිනමා දැක්මෙ ඊයෙ පෙන්නුව චිත්‍රපටය අපර්ණා සෙන්ගෙ ‘ජපන් බිරිඳ’. ඒ චිත්‍රපටය හරිම ලස්සනයි. සංවේදීයි. මානුෂිකයි. ආදරණීයයි. සුනිල් විජේසිරිවර්ධනගෙ මගපෙන්වීම චිත්‍රපටිය හදවතින්ම විඳින්න ලොකු උදව්වක් වුණා.

චිත්‍රපටිය ආරම්භයේ ඉඳන්ම ඉකිබිඳුමක් හිරවෙලා තිබුණා. ඇස් තෙත් වෙවී තිබුණා. අන්තිමට ස්නෙහෙමෝයි මියාගිකියල සන්ධ්‍යගෙ අත අල්ලල පපුවට තුරුළු කරගනිද්දි මගේ ඇස්වලින් කඳුළු ගලාගෙන ගියා. අවසන් දර්ශනයෙදි සන්ධ්‍යා මියාගිව ආදරයෙන් පිළිගනිද්දි, ගෙට.. කාමරයට කැන්දන් යද්දි ආයෙම ඇස්වල කඳුළු වේලිලා හිත සැනසීමකින් පිරුණා.

ඒ මියාගි මමයි කියල මට හිතුණා. වෙලාවකට මම ස්නේහමෝයි වගේ. වෙලාවකට සන්ධ්‍යා වගේ. මට මාවම පෙනෙන්න දැනෙන්න ගත්තා. වැඩියම දුක ඒ නිසාමද මන්ද?

ඒකපාර්ශවීය ප්‍රේමය කියන්නෙ අත්තටු බිඳුණු කුරුල්ලෙක් වගේ. විසල් අහසක් තිබුණට එයාට පියාඹන්න පුලුවන් කමක් නෑ. හිතේ ධෛර්යය, කැපවීම තියෙන තාක් එයා ඉස්සරහට යාවි. ඒත් ඒක හරිම දුෂ්කර ගමනක්. වේදනාත්මක ගමනක්. ඒ ප්‍රේමයට සියදිවි නසාගන්නත් හිතේවි. නැත්නම් කාට හරි ගොදුරු වේවි. 

ප්‍රේමයට ක්ෂය වෙන්න ඉඩහැරල සහෝදරත්වයේ අත්තටු පළන්ඳගන්න පුළුවන් නම් හොඳයි. ඒත් ඒක ප්‍රේමයට පණ නහගන්න ඉඩඅරිනවටත් වඩා අමාරු වැඩක්....

........

සිලි සිලි පොදවැස්සෙ ඊයෙ මං ගෙදරින් පිටවුණේ. මීදුම් කබාය පොරවගන ශීතලෙන් ගැහි ගැහී ඉන්න මහල්ලෙක් වගේ ඉරට අමතක වුණු උදෑසනක්.

උදේ වරුවෙ ගෙවුණෙ කවි වැඩමුළුවෙ.  ප්‍රධාන දේශනය කළේ ‘පසිපුර නන්ද මහත්මයා. කවිය ගැන හොඳ විස්තරාත්මක කතාවක්.  නාමල් අයිය දෙමව්පියන්ට කතා කළා පැයක්. නාමල් අයියව දකින එකත් සතුටක්නෙ. එයාගෙ කතාවක් ඇහුවම හිතට දැනෙන ගැම්ම සෑහෙන දවසකට ඇති.

තෑගි, සහතික දුන්නට පස්සෙ එක දුවක් අම්ම එක්ක ඇවිත් කතා කළා. එයා තමයි 12-13 වයස් ඛාණ්ඩෙ පළමුවෙනියා.

‘‘මිස්ට මතකද මාව?

‘‘හරියටම මතක නෑ. ඔයා ළක්‍රිවිද?


‘‘නෑ. මිස් නවගත්තේගම පොත් ප්‍රදර්ශනය දවසෙ මේ කවි තරඟය ගැන විස්තර කොලේ දුන්නෙ අපට. ඒ නිසයි මේ තරඟය ගැන දැනගත්තෙ.

ඒ දුව පුත්තලම් පැත්තෙ ඉස්කෝලෙක ඉගෙනගන්නෙ. ගම නවගත්තේගම. අම්මත් එක්ක ඇවිත් හිටියෙ. දුප්පත් අම්ම කෙනෙක්. දැණුන සතුට අප්‍රමාණයි. එදා අපි ගොඩක් අයට පත්‍රිකා දුන්නා. එයින් එක්කෙනෙක් හරි ඉදිරියට ඇවිත් තියෙනවනෙ.


අද උඳුවප් මහේ පළමුවැනිදා. උදේ අවදිවුණේම රතිඤ්ඤා හඬින්. වැහිබර අඳුරු අහස තරමක් පැහැදිලි වෙන්න අරගෙන. නත්තල් හීතල දැණුනෙ නැති තරම්. තවමත් මගේ හිත ඊයෙ සිනමා සිත්තමේ කඳුළු අතර හිරවෙලා. ඇත්තටම අද මට සැහැල්ලුවෙන් හිනාවෙන්න හිතක් පහළවුණේම නෑ.

කෝච්චියෙන් ඇවිත්, බස් එකකට මාරුවෙලා ඉන්පස්සෙ පාගමනින් ඇඟිල්ලත් අරගෙන දුවගෙන දුවගෙන එද්දි කැඳ නංගි කතා කළා. කාර්යාලය ඇතුළෙ ආපනශාලාවෙ කැඳ අළෙවිකළ සහෝදරිය අළෙවිය අඩු නිසා දැන් ඇගේ කැඳ කඩේ පාර අද්දරට අරන් ගිහින්. කැඳ වර්ග කිහිපයක් ඇය අලෙවි කරනවා. කොළකැඳ, කුරක්කන්, සව්, රුලං ඒ අතර. හකුරු කෑල්ලක් එක්ක ලැබෙන ඒ කැඳ කෝප්පෙ ගෙවන මිලට වඩා වටිනවා. රසවත්.

ඉස්සර දවසක අපි හිතවත් වුණේ සොඳුරු කතාබහකින්.

‘‘මිස් වගේම කෙනෙක් අපේ ගමේ ඉන්නවා. නිතරම හිනාවෙලා කතාබහ කරනවා හරි කරුණාවන්තයි. දවසක් කැඳ කෝප්පයක් මිලදී ගන්න ගිය අතරෙ ඈ කිව්වා. මං වගේම අය ඉන්න බව නම් මං කොතෙකුත් අහල තියෙනවා.

‘‘මං වගේම අය ඉන්න කතාව නම් ගොඩක් අය මට කියල තියෙනවා. මං තිස්සෙම හිනාවෙලා ඉන්නවද? කරුණාවන්තද? ඒ ගැන නම් මට අදහසක් නෑ. මං කිව්වා.

‘‘ඇත්තමයි. මිස්ගෙ හිනාවයි, කතාවයි දැක්කම හිත පිරෙනවා.

‘‘එහෙම තමයි හිනාවෙලා කතා කරල ඉන්න ඕන. අඬන්න වුණාම තනියෙන් අඬන්න ඕන. කැඳ කෝප්පෙත් අරන් එහෙම කියල ආවා මම. මගේම කල්පනාවන් එක්ක තනිවුණාම දුකින් හිටියත් මම අනිත් අය ඉදිරියෙදි සතුටින් හිනාවෙලා ඉන්නවා. ඉතින් කවුරුත් හිතන්නෙ නැහැ මට මගේම දුක් වේදනා තියෙනව කියල තනියෙන් රසවිඳින.

මුලින්ම පාර අද්දරට කැඳ කඩේ ගෙනගිය දවසෙත් මම කඩිමුඩියෙ දුවගෙන එද්දි ඈ කතා කළා. ‘‘මිස් මිස් අද ඉඳන් මම මෙතැන. එදා තමයි මම මුල්වරට ඇගේ ජීවන තොරතුරු අහල බැලුවෙ. ඉන්පස්සෙ මට ඈ ගැනත් දැණුනෙ මහා කරුණාවක්.

ඉතින් අද,

ඇගේ ඇමතුමට මං නැවතුණා.

‘‘අද නං කැඳ එපා. මං කිව්වා.

‘‘කැඳ ගත්තෙ නැතිවුණාට කමක් නෑ මිස්. ඔය සිරියාවන්ත මූණ පෙන්නල වචනයක් දෙකක් කතා කරල ගියත් ඇති. ඈ කිව්වා. මට පුදුමයි. 

ඇත්තටම මට තියෙන්නෙ සිරියාවන්ත මුහුණක්ද? මං තාමත් හිතනවා. 

Friday, November 28, 2014

දිනක් ආයෙද සොඳුරු අරුමැසි



මගේ සෙනෙහස මෙතෙක් වේ යැයි
මනින්නට ඔබ උගෙන නැත තව..........

මා පැවසුයේ ඊයේ නොවේද? නමුත් අද,

ඔබේ සෙනෙහස මෙතෙක් වේ යැයි
මනින්නට මා උගෙන නැත තව.......

අපමණ බැතිබර සෙනෙහසකින් මම සිතමි. අල්ප වූ අහිමිවීම් මැද වධ වෙවී සිටින බොළඳ සිතකට ලැබුණු අගනාම ස්වර්ගීය තිළිණය ඔබද?

...........

අද උදේ එළියට බැස්සෙම මල් වැස්සක... වැහිබර අහස අඳුරක ගිළිල  තිබුණත් ගස්වැල් පිරිමැදගෙන නිස්කලංකෙ ඇද හැළුණු පොද වැස්ස දිහා මං බලන් උන්නෙ හරිම පහන් හැඟීමකින්. ඒ හැඟීම දෑස තෙත් කැවෙන ආනන්දනීය විස්මයක් වුණේ දිලිනිගේ කතාබහත් එක්ක...........

හරිත තුරු ලිය පෙමින් සිඹ සිඹ
විසිරි සිරි සිරි අසිරි මල් වැසි
දිනක් ආයෙද සොඳුරු අරුමැසි
හදක් නහවා ස්නේහ මල් වැසි........

..........

දැන් මං අපේ ගෙදර....... තනියෙන් ඉන්න......ඒත් අද තනිකමක් දැනෙන්නෙ නැහැ හිතට.......

Wednesday, November 26, 2014

Keep Dreaming


ලියන්නට දෑ බොහෝමයි.. අවිවේකය හිතත් අල්ලා සිරකරගෙන.. අකුරුත් හොරකම් කරගෙන...

අවිනිශ්චිතයි කාලය.. හීන දකින්නත් බියයි. බිඳෙන හීනවල කැට කැබිලිති උහුළාගෙන ජීවත් වීම අසීරුයි. ඒත් එහෙමයි කියල හීන පිරෙන හිතට විලංගු දාන්නත් පුළුවන්කමක් නැහැ.

ඊයේ පැවති වීදියේ විරෝධයට හැමදාමත් වීදියේ අරගලයට අප්‍රමාණ හදවතින් දායක වන මිනිසුන්ම සම්බන්ධ වී සිටියා. කිසිදු පෞද්ගලික ලාභ ප්‍රයෝජනයක් නොතකාම.

විවේක ගත යුතු බව වෛද්‍යවරුන් අවධාරණය කර තිබියදීත් ජයේ අයියා ගීත ගැයුවා. උණුසුම් දෑතින් සිරකරගෙන මගේ දෙඅත් ධෛර්යවන්ත සිනාවෙන් ඔහු මා එක්ක කතා කළා.

ඡායාරූපය විකල්ප අඩවියෙනි.

‘‘අපේ හීනවලට පියාපත් ලැබෙන්නෙ කවදද? කවුරුන් බලයට ආවත් මහපාරෙ අරගලය නිමා වෙන එකක් නැහැ. මොකද බලය නැති තාක් සාන්තුවරු වන මිනිසුන් බලය ඇති තැන රාක්ෂයින් වෙන නිසා. බලය නැති තැන ධෛර්ය සම්පන්න මිනිසුන්, බලැත්තන් වට කරගත්තම කේවට්ටයින් වන නිසා. එහෙම නොවී ඉන්න ධෛර්යයක් තියෙන මිනිසුන් ඉන්නෙ අතළොස්සයි.

සන්ධ්‍යක්කත් හමුවුණා.

කන්තෝරුවලට බත් පැකට් දාලා ඇයත් වීදියේ විරෝධයට ඇවිත් තිබුණා. එයාගෙ කෑමවලට දැන් හොඳ ඉල්ලුමක් තියෙනවලු. වම්බටු මෝජු, සීනි සම්බෝල වගේ ටික දවසක් තියාගන්න පුළුවන් කෑම වෙනම පැකට් හරි බෝතල් හරි විකුණන්නත් අදහසක් තියෙනවලු. දවසක මටත් එයාගෙ කෑම එකක් අරන් එන්නම්ලු. මේ තරම් ධෛර්යවන්ත හදවතක්.

අතුරුදහන් කළ සැමියා වෙනුවෙන් යුක්තිය, සාධාරණය ඉල්ලමින් දුව ඇවිදින අතරම, දරුදෙන්නා වෙනුවෙනුත් පවුලේ අය වෙනුවෙනුත් වෙහෙස වන අතරම ඇය හැමදාමත් මහපාරේ අරගල අතරත් ඉන්නවා. මෙවැනි ආදරණීය ගැහැණුන් කියන්නෙම අප්‍රමාණ ධෛර්යයක් එක්ක ජීවිතේට මුහුණ දෙන ඓශ්චර්යයන් නෙවෙයිද?

ඡායාරූපය JDS

මේ මිනිස්සුන්ගෙ ආදරය, ධෛර්යය ගැන හිතද්දි ඇස්වල කඳුළු.
..........


පින්තූර කිහිපයක් ඇස ගැටුණා. කවියක් ලියවුණා. එකක් නෙවි, දෙකක්.... 

දැල්වෙන
තරු ඇසක
මඟ අවුරා
වැසූ අහසකි..

අනන්තාවකාශයට
වුව
ඉමක්
නොවන්නෙද?

සිසිරයේ
නිසල වූ
හුදකලා පතක
සීතල කඳුළකි,

තරු ඇසින්
ගිළිහුණිද එය...

...............

ගිළිහෙමි
නිසල වෙමි
සැනහෙමි

මිදි විතක
සුවඳ ය
මුදු හදක
සිසිල ය

සදාතන
ස්නේහය
නිවෙන
පුදසුන
මෙතැන ය....

Tuesday, November 11, 2014

ඈ යන්න ගියා මැකිලා


වීනු නික්ම ගිහින් මාස තුනයි. හෙට රාත්‍රියෙ බණ. අනිද්දා දානෙ.

හාමුදුරුවරුන්ට පූජා කරන පිරිකරවල අලවන්න අදහසක් ලියල දෙන්න කියල ලක්ෂ්මි ඉල්ලීමක් කරල දවස් කීපයක්. ඒත් මට හිත හදාගන්න බැරි වුණා. වීනුගෙ පළමුවෙනි උපන්දිනයට ඈ වෙනුවෙන් ලියූ පදපේළි මතක් වෙද්දි හිතට දුකයි.

සුවහසක් සිහින පොදි මැද
සුපිපුණු කිරිකැටි සිහිනය
සිඟිති මල් කැකුලක්ව
මෙලොවට වැඩිය දින
නොකල්හිම ගිළිහී යාද
සන්තානයම ගිනිගත් මොහොතක

අත්තටු බිඳුණු පැතුමට
ජීවන හුස්ම පිඹිමින්
අපමණ සෙනෙහසින්
දිව රෑ නොතකමින්
ඇය මලක් සේ පුබුදු කළ
ද සොයිසා කාන්තා රෝහලේ
නිශානි ලූකස් වෙදැදුරුතුමිය ඇතුළු වෛද්‍යතුමනි,
මෙත් සිතැති හෙදි සොයුරියනි,
කාර්ය මණ්ඩලයේ සියල්ලෙනි,
ඔබේ ළෙංගතුකමට
අපමණ කැපකිරීමට
බැතිමල් පුදන්නට
වදන් සවිමත් වෙද කොයි ලෙස...

වීනු තිලංසා දියණිය සමඟ
ගෙවෙන ජීවිත වන්දනාවේ
සිනාමල් පිපෙන
සැම මොහොතක් පාසාම
පුණ්‍යානුමෝදනා වේවා
ඔබට.. ඔබ සැමට...

එදා අපි කවුරුවත්ම හිතුවෙ නැහැනෙ, දෙවෙනි උපන්දිනය එළඹෙද්දිම ඒ සිනාමල් පරවේවි කියල.  අද ඈ වෙනුවෙන් මම මෙවැනි සටහනක් ලියා යැව්වා.

‘‘සියල්ල අනියත බව, නැසෙන සුළු බව
සිඟිති හසරැල්ලෙන් පහදා දී
ඇය සන්සුන්ව නික්ම ගියාය.
වීනු තිලංසා අප ආදර දියණියට
අමා මහ නිවන් සුව අත්වේවා.

මේ වචන ටික කියවල අපි ආයෙම කඳුළු අළුත් කරගත්තා. සුසුමක් සමඟ නැවතුණු සංවාදයෙන් පස්සෙ ලක්ෂ්මි කෙටි පණිවිඩයක් එවා තිබුණා. ආයෙම ඇස් තෙත් වුණා.

‘‘මේ වගේ නිසඳැස් දෙකක් ඔයා කාටවත්ම හදල නැතුව ඇති. ස්තුතියි තරූ

...........

‘‘රීතියක් ලෙස අහේතුකව වේදනා විඳින්නට මම නොකැමැත්තෙමි. වේදනාවක් යනු නිර්මාණාත්මක විය යුත්තකි. එය යහපත් සහ අදරැති යමකට උපත දිය යුතුය.

ජන පුරිසෙක් -  129 පිටුව

හරි ලස්සන අදහසක්. හිත බැඳුණා. මිහිරි වේදනාවන් කියන්නෙ මෙවැනි නිර්මාණාත්මක දුකකට වෙන්න ඕන. මගේ වේදනාවත් නිර්මාණාත්මකයි, සමහර වෙලාවට ප්‍රඥාවන්ත විදියට.. සමහර වෙලාවට මහ මෝඩ සහ බොළඳ විදියට. ප්‍රඥාවන්තව වේදනා විඳින හැමවිටම එය යහපත් අදරැති දෙයකට උපත දෙනවා. ඒක ඇත්ත. ඒ හැඟීමත් හරිම සුවදායකයි.

ජනපුරිසෙක් Chinua Achebe - The Man of the People කෘතියේ පරිවර්තනය. සමන් නන්දලාල් පරිවර්තනය කරල තියෙන්නෙ. ලාංකීය දේශපාලනයට, සමාජයට කැටපතක් අල්ලනවා වගේ දැනෙනවා.

ජනාධිපතිවරණ උණුහුමත් එක්ක මෙවැනි පොතක් කියවන එකත් වටිනවා. රාජපක්ෂ රෙජීමය පරද්දන එක තමයි මේ මොහොතෙ අත්‍යවශ්‍යම දේ. ඒත් එතනින් පස්සෙ කාටද රට භාර දෙන්නෙ කියන එක ප්‍රශ්නයක්. ඉගුරු දීලා මිරිස් අරන් විඳවන අපි ඊළගට ගන්නෙ කොච්චිද? මේ මොහොතෙ තම තමන්ගෙ බලය රැක ගැනීම ගැන නෙවෙයි පොදු සමාජ යහපත ගැන හිතල සියලුම විපක්ෂ බලවේග එකතු විය යුතුයි කියන එකයි මගේ හැඟීම. ඒත් ලංකාවෙ සිංහලුන්ගෙ ඉතිහාසය කියන්නෙම පාවා දීමේ සහ දැන දැනම කැමැත්තෙන්ම විනාශය වැළඳ ගැනීමේ ඉතිහාසයක්. ආත්මාර්ථයම මිස පරාර්ථය ලාංකීය දේශපාලනයෙ ගෑවිලාවත් නැහැ.

ඒ ඉතිහාසයම නැවත නැවත ක්‍රියාත්මක නොවේවා. 

Saturday, November 8, 2014

චූටි මිමීගෙ යෙහෙළිය


මෑතක ඉඳන් චූටි දෝණි එක්ක සෙල්ලම් කරන්න එන දැරිය නෙත්මි කාගෙ කවුද මං දැනන් උන්නෙ නෑ. ගමට මෑතක ආව දැරියක්. චූටි මිමීගෙ දාංගලේ, වසකම් ඉවසීමෙන් විඳගන්න, බැරිම තැන ‘‘ඔන්න මං ගෙදර යනවා මිමී“ කියල පොඩි තර්ජනයක් කරන, ඒත් එහෙම නොයන මේ දැරිය ගැන මගෙ හිතේ පැහැදීමක් තිබුණා. නෙත්මි ඉන්නවනම් චුටි මිමීව බලාගන්න එක ඒ තරම් අමාරු නැහැ. මොකද දෙන්න එක්ක සෙල්ලම් කරනවා මිස මාව ගාණක්වත් නැහැ. මටත් මගේ වැඩක් කරන ගමන් එයාල දිහා ඩිංගක් ඇහැ ගහන් උන්නම ඇති.

අද සෙල්ලම අතරතුර මට නෙත්මි මෙහෙම කියනවා ඇහුණා.
‘‘මිමී අපරාදෙ නේද මං ඔයාගෙ අක්ක වුණේ නැත්තෙ.” ඒ වගේ ප්‍රශ්නෙකට උත්තර දෙන්න තරම් මිමීට තේරුමක් නැහැ. එයාගෙ ප්‍රතිචාර කොහොමද පේන මානෙක නෙවෙයි මං උන්නෙත්. ආයෙම නෙත්මි ම කියනවා.

‘‘කමක් නෑ ඉතින්. මං ඔයාට වඩා ලොකුයිනෙ ඒ හින්ද මං ඔයාගෙ අක්කනෙ.” ඉන්පස්සෙ දෙන්න එක්ක සෙල්ලම.

එක වෙලාවක චූටි දෝණි දුවගෙන ඇවිත් මගෙ උකුලට පැන්නා. ‘‘මගේ රන් කැටේනෙ ඔයා.” මං එයාව තුරුල් කරගෙන ඉඹගත්තා. එයා ආයෙම මගේ තුරුලෙන් මිදිලා ඈතට දිව්වා. මේ අතර නෙත්මි හෙමිහිට ඇවිත් මගේ උකුළෙන් වාඩි වුණා. ඒ හොයන්නෙ ආදරේ. මම අත්දෙකින්ම නෙත්මිවත් තුරුල් කරගත්තා. චූටි මිමීට ඉරිසියා හිතිලා. ඉක්මණින් දුවගෙන ආවා.

‘‘එයාව තුරුල් කරගන්න එපා..” චූටි මිමී මට සැර වුණා.

“පව්නෙ මැණික ඉතින් ඔයාගෙ යාළුවනෙ. ඔයාත් එන්න මේ පැත්තෙන්.” මම දෙන්නවම උකුලට ගත්තා. මිමීට මං දක්වන ආදරේ ඇයත් බලාපොරොත්තු වෙන බව දැණුනා. ඉතින් මං ඈ ගැනත් අවධානය දුන්නා. නෙත්මි ගැන ටිකක් හොයල බලන්න හිතුණෙ මට ඉන්පස්සෙ.

නෙත්මි එක වසරෙ. එයාගෙ තාත්තා නැති වෙලාලු. අම්ම රටලු. දැන් ඉන්නෙ ආච්චි ළඟලු. ආච්චිත් සැරයිලු. ඒ නිසා වෙන්න ඇති කෙල්ල කන්නවත් ගෙදර යන්න හිතන්නැත්තෙ.


පව් අහිංසක දරුවො. ආදරයයි, අවධානයයි තමයි දරුවො බලාපොරොත්තු වෙන්නෙ. අද දරුවන්ට නොලැබෙන්නෙත් ඒ ටිකම තමයි.

Wednesday, November 5, 2014

මිටින් මුදාහැර බැලුවෙමි..


‘‘මම ඔහුට රහසේ ඔහු දෙස අනන්ත වාරයක් බලා සිට ඇත්තෙමි. ජීවිතයේ අවසානය දක්වා මා තුළ පවතිනුයේ ඔහු පිළිබඳ වන ආදරය පමණකැයි උදක්ම සිතා සිටියෙමි. ලෝක ඉතිහාසයෙහි ඕනෑම ආදරවන්තියක තරමට මම ඒ ආදරය නිසා හඬා දොඩා ඇත්තෙමි..

..මා ඔහුට ආදරය කරන බව ඔහු දැන සිටියේය. එහෙත් ආදරය යනු කුමක්දැයි මා මෙන්ම ඔහු ද නොදත්තේය. ඔහුට මගේ ආදරයද, එහි වේදනාවද සුවදායි සොම්නසක් විය. අප වටා සිටි අයද ඒ වේදනාත්මක ප්‍රහසනයෙන් ආස්වාදයක් වින්දහ. අවසානයේ විසිඑක් වසරක් ඒ ආදරයෙහි බර මම හුදකලාව උසුලා සිටියෙමි. ඔහු කිසිදිනක මට සමීප වූයේ නැත. එසේ සමීප වූවා නම් මගේ හදවතෙහි ස්පන්දනයෙහි රිද්මය ඔහුට දැනෙන්නටද තිබුණි. ඔහුගේ මැදි වියේ සුසුම් රැල් තුළ මගේ මැදිවිය සනසාලන්නට මගේ ආදරයෙන් ඔහුගේ ජීවිතය දෝවනය කරන්නට මම පෙරුම් පිරුයෙමි. එහෙත් ඒ සියලු සිහිනයන් අවදි කරවා මා වේදනාවෙන්ද ඔහු මාන්නක්කාරී ප්‍රහර්ෂයකින්ද දෙපසකට වී ගෙවූ කාලයෙන් එක් නිමේෂයකදී මම ගැළවී ඉවත් වීමි.

මා එසේ ඉවත් වූයේ ඔහු මා ප්‍රතික්ෂේප කළ වේදනාව නිසා නොව මගේ ආදරය ඔහුට වධ හිංසාවක් වූ බව වටහාගත් නිසාවෙනි. ඔහුගෙන් ඉවත්වීම සඳහා මම අනවරත මානසික අරගලයක නිරතවුණෙමි. වසර ගණනාවක් ගතවන සෑම තත්පරයක් පාසාම මම හදවතින් වේදනා උසුලමින් ඔහුව නිදහස් කිරීමට වෑයම් කළෙමි.

අවසානයේ මගේ සදාතනික ආදරයේ පීඩාවෙන් මම ඔහුව මුදා හැරියෙමි.”

නාඳුනන ගැහැණිය 55,56 පිටු
තිලිනා වීරසිංහ



තමන්ට කියාගන්නට බැරිව හිතේ තෙරපෙන හැඟීම් ගොන්නක් පොතක පිටු අතර හමුවුණාම දන්නා හඳුනන කෙනෙක් හමුවුණා වගේ අමුතු සැනසිල්ලක් දැනෙනවා. හරියට හදවතේ අබිරහස් දොරටුවක් විවර කරලා මෙතෙක් මුදාහරින්න නොහැකි වෙලා තිබුණු මහා බරක් නිදහස් කළා වගේ හැඟීමක්.. එහෙම නැත්නම් තේරුම් ගන්න බැරිව තිබුණු අවුල් සිතුවිලි ජාලයක් පැටලුම් ලෙහල නිරවුල් කරගත්තා වගේ හැඟීමක්... 
නාඳුනන ගැහැණිය කෙටිකතා පොතේ ‘‘හුදකලා සටහන්“ හි එන මේ කොටස මගේ හිත තදින් අල්ලල තියා ගත්තා. මට මාවම කියවනවා වගෙයි දැනුනෙ... 

ඒ මානසික අරගලය කොයි තරම් දුෂ්කර ක්‍රියාවක්ද, වේදනාවක්ද කියන එක විස්තර කරන්න වචන නෑ. නින්ද යන්නෙ නෑ. කන්න පිරියක් නෑ. කා එක්කවත් කතා කරන්න හිතක් නෑ. හිනාවෙන එකත් මහන්සියි වගේ. කිසිදෙයක් කරන්න හිතෙන්නෑ. දෙතුන් සීයක් වටේ හිටියත් හරි පාළුවක් දැනෙනවා. ඒ වෙලාවට කියවන එක හිතට සහනයක්. එහෙම නැත්නම් ඔහේ ඇවිදගෙන යන්න තියෙනවනම් තනියම, හෙමිහිට.. ඒකත් හොඳයි. 

කොහොම වුණත් සුවපත් වෙන්න පුළුවන් තමන්ටම තමයි. ඉඳහිට ඉතාම සමීප හදවතකට පුළුවන් පුංචි උදව්වක් දෙන්න, තත්වය තේරුම් ගන්න, යථාර්ථයට අවදි වෙන්න, ඒක භාරගන්න, ඉන්පස්සෙ හෙමිහිට හිත හදාගන්න..  

ඒ මොන දේ කළත් සදාතනික ආදරයේ පීඩාවෙන් නිදහස් වෙන එක නම් ලේසි දෙයක් නෙවෙයි. 

‘‘අපිට හමු වන බොහෝ අය සංසාරයේ අනේක කර්ම සපුරා ගනිමින් ඔවුන්ගේම මාවත දිගට ඇවිද යන හුදු සංචාරකයන් ම පමණි. ඔවූහු එකම චක්‍රයකට සිරවී ඇති හෙයින් පලා නොයති. එයට උත්සාහ කරන්නෝ වෙති. එ ද අතලොස්සකි. අන් සියල්ලෝම තමා වෙතම බැඳි බැඳී නිරන්තරයෙන් ඇවිද යන්නෝය. ඉදින් ගමන් මඟියන් මිසක නැවතී ඇති එකෙක් හෝ නොවන බැවින් නවාතැන් ගන්නෙකු සෙවීම සැබවින්ම මුග්ධ ක්‍රියාවකි.”

නෙරංජි මූණූපොතේ ලියා තැබූ සටහන ඇහැ ගැටුණම දෙයියනේ මේ කියන්නෙ ඇත්ත නේද හිතුණා. මේ ටික දන්නවා වුණත් ඒ ඇත්තට මුහුණ දෙන්න තියෙන නොහැකියාව නිසා නේද මේ හැම වේදනාවක්ම....

.......

තිලිනා වීරසිංහගේ පොතක් මුලින්ම කියෙව්වෙ දෙදාහෙදි විතර. ඒ ‘‘ආදරණීය දෙවියන් වහන්සේ සහ අන්ධකාර රාත්‍රිය” ඒ පොත මාව උස්සල පොළවෙ ගැහුවා වගේ දැණුන මට.. ඒ දවස්වල ඇත්තටම මම මෙලෝ හසරක් නොදන්න තොත්ත බබෙක්. ඒ පොතේ තිබුණ දේවල් මට අදහගන්න බැරි වුණා. 

තිලිනා වීරසිංහ කියන්නෙ අපේ අවධානය යොමු වෙන්න ඕන ලේඛිකාවක්. ස්ත්‍රීයකට වුණත් ස්ත්‍රී හදවත මේ තරම් විවෘතව ලියන්න විශාල ධෛර්යයක් ඕන. දැන් ඇගේ හුදකලා ජීවිතයට ලාංකීය සමාජයෙන් අත්වැලක් සහ අස්වැසිල්ලක් ලැබිය යුතු කාලය කියල මට හිතෙනවා. 

Monday, November 3, 2014

උපත් විපත් අතර ජීවිතය


සති අන්තය .. සෙනසුරාදා

හන්දියේ ඉඳල පන්සල පහුකරගෙන වෙල් යාය මැදින් තාත්තාගේ චැලියේ පිටිපස්සෙ ඉඳගෙන යද්දි ගම දැකීමේ සතුටින් හිත පිරෙනවා. හැම සති අන්තයකම ආවත් ඒ නැවුම් හැඟීම් එහෙමමයි. ගමින් පිටවෙල අවුරුදු පහළොවක්.. ඒත් තවමත් මටත්, ගමටත්, පවුලෙ අයටත් සති අන්තයේ මගේ ගම්බිම් බලා ඒම සුවිශේෂ දෙයක්... ඒක එහෙම වෙන්නෙම අප්‍රමාණ ආදරය නිසාම වෙන්න ඇති.

වෙල් යායෙ පැත්තක පැළ ගොයම.. අලුත මඩ තියපු ලියදිවලින් හමන මඩ සුවඳයි මට.. කවදත් ඒ මඩ සුවඳට මං ආසයි.. අලුත් වැහි වතුර ඇල පාරවල.. දියකඩිති වල. පයින් ඇවිදගෙන ගියා නම් මම ටිකක් නැවතිලා වතුර ගලන සද්දෙ අහන් ඉන්නවා.

මල්ලිට ගෙනාව අලි පැටියා චූටි මිමිට ඕන වෙලා... තෑගි බෙදන්න ගියාම ලේසි නැහැ. දැන් ඒකට තවත් පැංචියෙක් එකතු වෙලා. අයියට තුන්වැනියත් දුවෙක්.. අහිංසකී නිදි. කොල්ලෙක් ගැනමනෙ හීන මවන් උන්නෙ. අයිය හිතේ අමාරුවෙන් උන්නලු. ඒත් දැන්නම් වෙනසක් නැහැ.



‘‘ඔයාලගෙ ගෙදරත් කෙල්ලො තුන්දෙනෙක්. ඔය ඉන්නෙ අපුරුවට. කිසි නරකක් වෙලා තියෙනවද?“ අයියගෙ නැන්දම්මා කියනවා. ඒක ඇත්ත. අපේ තාත්තා කියන්නෙත් කෙල්ලො පවුලට වැඩි නෑ කියල. හොඳ නරක කියා දීලා, උගන්නල හදා වඩාගත්තම කෙල්ලො සම්පතක් කියලයි තාත්තා කියන්නෙ. තාත්තට ඉතින් දුවල ගැන එහෙම හිතන්න පුළුවන් වෙලා තියෙන්නෙ මේ දූල රත්තරන් ටිකට ඉන්න හින්දනෙ.. කාටද ආඩම්බර...

මම නං ආසයි කෙල්ලන්ට. ඕන හැටියෙ කෙල්ලො කමක් නෑ. කොල්ලො පවුලට හයියක් නම් තමයි, ඒත් කෙල්ලන්ගෙ තියෙන මෘදු ගුණය කොල්ලො ළඟ නැහැ. හරි අඩුයි. තව ආත්ම සීයක් ඉපදුණත් මං කැමති ස්ත්‍රීයක්ව ඉපදෙන්නයි.

අපේ කට්ටිය ජීවත් වෙන විදිය දැක්කම සතුටුයි. කන්දක් උසට ණය තිබුණත් පුළුවන් හැටියට ගේ දොර හදාගෙන එයාල සතුටින් ඉන්නවා. දුක සැප බෙදා හදාගෙන, විහිලු තහළු කරගෙන ඒ ඉන්න විදියට මට හරි ආදරේ හිතෙනවා. අපේ පවුල්වල සතුට වැඩි කරනවා අපේ දරුවො. උන්ගෙ හුරතලෙන් ජීවිතේම පිරෙනවා.

ඉරිදා.......

මළවුන්ගේ දවස. මළගිය නෑ සියන්ගේ සොහොන් කොත් පාමුළ මලක් තියල ඉටි පහනක් දල්වන්න පූජාවෙන් පස්සෙ සොහොන් බිමට ගියා.

මුදුන් කර හැදූ පස්කණ්ඩිය ඉහත්තාවෙ කුරුස කණුව මැද ජූඩ් අයියගෙ හිනා පිරුණු මූණ දැන් බොඳ වෙමින් යනවා. පස් කණ්ඩිය උඩ සුදු මල් විසුරුවල. රුවනියි, පුතයි විතරයි ඇවිත් උන්නෙ.. එයාල දැල්වූ ඉටිපන්දම් පොකුරටම මම මගේ ඉටිපන්දමත් එකතු කළා. හිත හැඬුම්බර වෙද්දි, ඇස්වල කඳුළු නළියද්දි මම අසීරුවෙන් කඳුළු වළක්වගත්තා.

‘‘තනියෙන්ද ආවෙ.. කෝ අම්මලා?” මම රුවිනිගෙන් ඇහුවා.

‘‘මට දැන් කාත් කවුරුත් නෑ අක්කෙ.. මං තනිවෙලා...” මම ඇතුළාන්තයෙන් පිච්චුණා.

මට ඇත්තටම හරි කේන්තියි ජූඩ් අයිය එක්ක. මැරෙනකල් බොනවයි කියල තීරණය කරන්න කළින් මේ අසරණ කෙල්ලයි දරුදෙන්නයි ගැන හිතන්න තිබුණා. හැම තීරණයක්ම එයාගෙ. ඒත් ඒ එක්ක දුක් විඳින්න වෙන අනිත් අය ගැන එයා කවදාවත්ම හිතුවෙ නැහැ. මේ තරම් අසාධාරණ වෙන්න පුළුවන් පිරිමින්ට විතරමද මන්දා...

..............

පරම්පරාවට අයිති සොහොන් ගැබ් තුනයි. නෑ සියන් කී දෙනෙක් නම් තැන්පත් කර ඇත්ද? ඔවුන් සියල්ලන් දූවිල බවට හැරී ඇතිවාට කිසිදු සැකයක් නැහැ. නමුත් ඔවුන් ඉතිරි කළ මතකය මියෙන තුරා හදවතේ තැන්පත්ව තිබෙනු ඇති.

මාලි නැන්දයි, සාරායි එක්ක මං ගියේ. සාරා ට තේරුමක් නැහැ එයාගෙ තාත්තයි, එකම අක්කයි මේ සොහොන් ගැබ් වල තැන්පත් කරල තියෙන වග... සාරා මල් කුමාරියක් වුණ ගවුම ඇඳල තාත්තගෙ පින්තුරය ළඟ තියල ෆොටෝ එකක් ගනිද්දි මහා දුකකින් හිත පිරිලා ගියා. මම කඳුළු වළක්වගත්තෙ හරි අමාරුවෙන්.


අවුරුදු දහයක් තරම් පුංචි කාලෙදි පිලිකාවක් නිසා අපි අත්හැරලා ගිය අක්කණ්ඩි වගේමයි එයාගෙ නංගි.. ඒ දවස්වල අක්කට කතන්දර කියල දුන්න වගේම මම දැන් නංගි සාරා ටත් කතන්දර කියල දෙනවා....

තොම්සන් මාමා ධනයයි, බලයයි නිසා අහංකාර වෙලා ඉක්මන් නොවෙන්න එයා අදත් ඉන්නවා. අන්තිමට අසරණ වුණේ ගැහැණියකුයි, හයහතර නොදන්නා දැරියකුයි නේද? එයා මාවයි ජූඩ් අයියවයි සාරාගෙ මංඥයි, පායියයි විදියට තෝර ගත්තෙ අපිට ගොඩක් ආදරේ කළ නිසා. ඒත් අන්තිමට දුවට තාත්තත් නෑ. පායියත් නෑ... අම්මයි, මංඥම්මයි විතරයි...


..............


ඉටිපහන් දල්වල, යාච්ඥා කරල මළගිය ආත්මයන්ට සදාතනික සැනසුම ප්‍රාර්ථනා කරල අපි ආවා. දවස පුරාම හිත දුකින් පිරිලා... 

දවස පුරාම අහසත් නැවතිල්ලක් නැතුවම ඇඬුවා.