Sunday, September 21, 2014

තනියෙන් ඉන්න අපේ ගෙදර සති අන්තය


ශිහාන් සහ ඇන්ටන් සහෝදරවරුන්ගේ පූජාත්වර පූජාව නිම වෙලා, මරදාන පාතිමා පල්ලියෙන් මං එළියට බැස්සෙ ගමේ එන්න. ෂර්ලි අයිය හමුවුණේ කන්‍යාරාමයට ගිය වෙලාවෙ, සිස්ට ලක්මාලි බලල එන්න... ‘‘කුලියපිටි බස් එකක් ගන්න පුළුවන් තැනකින් මාව දාන්න පුළුවන්ද අයියෙ? මං ඇහුවෙ ගිනි මද්දහනෙ මරදාන බෝ ගහ ළඟට පයින් එන්න තියෙන කම්මැලිකමට..

‘‘හා යං මං දාන්නං වත්තලින්.. එහෙම කිව්ව ෂර්ලි අයියම ටිකකින් මෙහෙම කියනවා...

‘‘තාම දවල්ට කාලත් නෑනෙ.. යමං අපේ ගෙදර. කාලෙකින් ආවෙත් නෑනෙ. ගිහින් දවල්ට කාල, මම වත්තල හන්දියට දාන්නම් වීල් එකකින්..

බෑ කියන්න හිතුණෙත් නෑ. ඇත්තටම අවුරුදු ගාණකින් මං එහෙ ගියෙත් නෑ. ‘‘හා යං.. කිව්වෙ ඒ නිසයි.

අක්ක විතරයි ගෙදර උන්නෙ. රෝස මල් වගේ කෙල්ලො තුන්දෙනාම නෑ... ගේ ම පාලුයි.

වත්ත පුරාම පළතුරු ගස්. ඒ ඇරෙන්න තණබිස්ස. වෛවාරණ මල් නැහැ. ඒකෙත් අමුතු ලස්සනක් තියෙනවා. හරි නිස්කලංකයි. මගේ ගෙදර වගේ... මටත් ඕන එහෙම වටපිටාවක්. කොහොමත් මල් හදන්න මං ගෙදරත් නැහැනෙ...
කෑමත් කන්න දීලා, අඳුරන ත්‍රීවීල් එකක් කතා කරල, ඒකට සල්ලිත් ගෙවල මාව වත්තල හන්දියට ඇරලවන්න මුල් වුණේ නිලන්ති අක්කා... ළක්‍රිවී යෙන් දැන අඳුනාගෙන කූඩු වුණ මං දන්න ලස්සනම ලස්සන පවුලක් ඒ... මනුස්සකම පිරිලා ඉතිරිලා තියෙන..

වෙහෙසකර දවසක අවසානයේ මං ගෙදර එද්දි හතරවටින් කළුවරත් ගාල්වෙලා.. මිදුල පුරාම තණකොල වැවිලා.. ගේ වටින් ළඳු කැලේ හොඳටෝම උස්මහත් වෙලා. හෙට දවස පුරාම කරන්න වැඩ තියෙනවා. මට හිතුණා.

සමන්පිච්ච පඳුරෙ මල් පිපිලා.. කළුවරෙත් සුදු මල් හිනැහෙනවා. සුවඳ පැතිරෙනවා. ඒ පිච්ච වැල එතනම ඉන්දුවෙ හේතුවක් ඇතිව.. පැතුමක් ඇතිව.... ජීවිතය ජීවත් කරවන අහිංසක හීන....

පිච්ච මල් උපද්දපු කවි සිතුවිල්ල පළ කරගන්නවත් සිග්නල් නැහැ... ගෙදර ආවම තියෙන එකම අවුල තමයි ඒ.. පැය එකහමාරක් විතර බලන් උන්නා. ඒත් සිග්නල් උන්දෑ හතරමායිමක නෑ...

පිච්ච වැල 
මල් හිසින් දරාගෙන
සුවඳ පැන් දොවාගෙන
ළදළු අග 
පිනි මොට්ටු තියාගෙන...

නැවුම් කරදහි 
පුස්ඹක දැවටෙමින්...
සුසුම් මුසු සිතුම් පැදි ඇමුණුමක
අතරමං වෙන්න හිත හදාගෙන...

වසා ලු කවුළුපත් අද්දර
පිච්ච වැල.....

මල් හිසින් දරාගෙන
ගිළිහෙනා පැතුම් පෙති
ලිහාගෙන....
ජීවිතේ මේ නම්
ළතැවුල් කුමට,
පවන් රැල්ලක එතෙන
සංසාර සුවඳක
සැනහෙන්න හිතාගෙන...

ඉරිදා උදෙන්ම පූජාවට ගියා.

අම්මයි, චූටි දෝණිත් ආවා. ‘‘අම්ම නිදහසේ ඉන්න ටිකක්.. නිදාගන්න.. කැමති නම් පොතක් බලන්න... වැඩ කරන්නම ඉපදුණු ගානට ඉන්න අම්මට සැහැල්ලුවක් දෙන්න නිසාමයි එන්න කියල කිව්වෙත්... 

දෝණිට ජානකී සූරියආරච්චිගෙ ටිකිරි ගී දාලා දුන්නම කම්පියුටර් එකේ, මට පාඩුවෙ වැඩක් කර ගන්න පුළුවනි.... ඒත් සැරින් සැරේට එක එක උවමනාවන් හදාගෙන කතා කරනවා. දෝණි කැමතිම නෑ, එයාගෙන් ඈත් වෙලා වැඩවල යෙදෙනවට.. මට තියෙන්නෙ අද දවස විතරයි කියල කොහොම තේරුම් කරන්නද ඒ පුංචි හිතට...

තණකොල කපන මැෂින් එකත් අරන් නිලමෙ මාමා ආවා.. ඒ නිලමෙ මාමා තනියෙන් ඉන්න අපේ ගෙදරට  ගොඩවැදුණාමද කොහෙද?

‘‘ මේ මදෑ... මෙහෙ හරිම නිදහස්නෙ ලොකු දුවේ... පාඩුවෙ ඉන්න පුළුවන්.. කිසි සද්දබද්දයක් නෑ.. වටපිටේ ඉන්නෙත් නිස්සද්ද මිනිස්සුනෙ...  බාගෙට හැදුණු ගේ දිහා බලමින් මාමා කිව්වෙ හදවතින්මයි.. දන්න කියන කාලෙ ඉඳන් කටපුරා දුවේ කිව්වෙ හිතේ පත්ළෙන්ම ඉපදුණු ආදරෙයන් කියල මං දන්නවා..

ලැවරියා කමින් තේ බොමින් ඉන්න අතරෙ නිලමෙ මාමා අතීත විස්තර දිගහරිනවා... ඒ මගේ ළමාවියත් එක්ක බැඳුණු තමන්ගේ අතීතය ගැන අහිංසක සතුටකින්...

‘‘ලොකුදුවට මතකද? ඉස්ඉස්සිල්ලම මමයි දුවව ඉස්කෝලෙ එක්කරන් ගියෙත්, ආවෙත්...” නිලමෙ මාමා අහනවා. ඇත්තටම මට මතකයි, තව ළමයි දෙන්නෙක් විතර ඒ බයික් එකේ නිත්‍ය සාමාජිකයො වෙලා උන්නා... දෛනික රාජකාරියක් වගේ බොහොම සීරුවට අපිව ඉස්කෝලෙ එක්කරගෙන ආව ගියා මතකයි...

තද අව්ව.. ඒ ගැන වගක් නැතිව තමන්ගේම වැඩක් ගාණට වැඩේ කළේ. වැඩි මුදලක් ගත්තෙත් නෑ. ඒ ගමේ කමට...තමන්ගේ කමට... ගේ වටේ ගාණට තණකොල කැපුවම හරිම සිරියාවයි. වැඩිපුරම තියෙන්නෙ උඳුපියලිය.... දවස පුරාම මහන්සි වෙලා ලස්සන කරල හවස් අතේ ආපහු එන්න ලෑස්ති වෙද්දි නම් හිතට හරි දුකයි...

දොර වහල, යතුර අරන් මං එද්දිත් පිච්ච වැල මල් තියන් බලන් උන්නා... ආයෙ කවදද එන්නෙ අහන්නා වගේ...

Wednesday, September 3, 2014

සීතලම කඳුලක හමුවේ ඔබ...


සනාතන කඳුලක්
තබා ඇහිපිය යට
සමුනොගෙන සමුගත්
සදාතන මිත්‍ර තෙම....

පියවි ලොව කිසිදිනෙක
හමුනොවූ මුත් ඔබ
හමුවේ හැමදිනෙක
මිත්‍ර හද ගැඹුරක
කෙවි කෙවී රිදුම්දෙන
සීතලම කඳුලක..... 

Tuesday, September 2, 2014

අනියත සුසුමක බර



2014.09.01

ගමනාන්තයේ දුම්රිය නැවතුම අසල පළතුරු කඩේ මාමා මාස දෙකකින් විතර පේන්න හිටියෙ නැහැ. මම හිතුවෙ වෙන තැනක රස්සාවට යන්න ඇති කියල.

‘‘කෝ අර අන්කල්... ඇයි පේන්න නැත්තෙ...  ටික දවසක ඉඳන් හිතේ ගොනු වුණු ප්‍රශ්නයක් මම  කඩේ මුදලාලිගෙන් ඇහුවා.

‘‘ඇයි දන්නෙ නැද්ද? මුදලාලිගේ මුහුණේ ඇඳුණු අඳුරු විස්මිතය බොහෝ දේ කියාපෑවා.

‘‘ඇයි? මොකද වුණේ...

‘‘මනුස්සය නැති වුණානෙ. මෙතනදිම පපුවෙ අමාරුවක් හැදුණා. ඉස්පිරිතාලෙ අරන් යනකොටත් මැරිලා...

මගතොට හමු වී පිය සෙනෙහසින් හිනැහී කතා කළ තවත් කාරුණික මිනිසෙක් නොකියාම සමුඅරන් තිබුණා.. මෙවැනි සමුගැනීම් බොහොමයකට පහුගිය ටිකේ මුහුණ දෙන්න වුණා.

අස්ථිර ජීවිතය පැහැර ගන්නෙම දයාවන්ත මිනිසුන් ද මන්ද?

...............

ඊයෙ සවස මාරිස්ටෙලා විදුහලේ පැවති සිනමා දැක්මෙදි ඇන්ඩෘ ජයමාන්න ගැන මතකය අවදි කළ ධර්මසිරි බණ්ඩාරනායක ‘‘අපි ජීවත් වෙන්නෙ පිලිකා එක්ක. පිලිකාගත වුණු සමාජයක” කිව්වා. ඔහු මතක් කළා මෑත කාලයේ පිලිකා නිසාම අපට අහිමි වූ වටිනා ජීවිත රැසක් ගැන. ඔහුගේ හංස විලක් චිත්‍රපටයට සම්බන්ධ වූ කිහිපදෙනෙක්ම පිලිකා නිසා අතරමගකදි ජීවිතය අතහැර ගිහින්.

හෘද රෝග සහ පිලිකා........ උණ, හෙම්බිරිස්සාව තරමට සාමාන්‍යකරණය වෙලා.

සොබාදහමට අනුගත වුණු ජීවිතයකට ආපසු හැරී යනු මිස, නිදහස් සැහැල්ලු මනසක් වෙනුවෙන් අධ්‍යාත්මික සංහිඳීමකට යනු මිස මේ ව්‍යසනයට අන් විසඳුමක් නැහැ කියලයි මට හිතෙන්නෙ.

.............

‘‘හොඳින්ද කෙල්ල” ඔබ ඇහුවා.

‘‘මම හොඳින්” මම කිව්වා.

ඒත් ඇත්තටම හොඳින් ද මම මගෙන්ම ඇහුවා.

හදවතේ රිදුණු බිඳුණු, තැලුණු පෙළුණු තැන්වලට සාත්තු සප්පායම් කරගනිමින්, සුවපත් වෙන්න උත්සාහ දරමින් මං උන්නෙ. දවසට සියදහස් වාරයක් ඇස් තෙත් වෙන්න ඇති. ආදරණීයයන්ගෙ නොතේරුම් ගැනීම් තරම් හදවත බිඳ දමන සුළු අන්යමක් නැහැ.

මට දැනෙන්නෙ හදවත වැඩි පරිස්සමට ගිනි උදුනක් උඩ තිබ්බා වගේ හැඟීමක්.

ඒත් මම පරිස්සම් වෙනවා, අල්පෙනෙති තුඩකින් තරමවත් ඔබට නොරිද්දා ඉන්න. මට මාව රිදව ගත්තැකි. ඒත් මට ඔබව රිදවීම කළ නොහැකියි. එයින් රිදෙන්නෙත් මටම යි. මම ඒ බව පැහැදිලිවම වටහාගෙන ඉන්නෙ.