බිහිදොර


දින පොත ලිවීම මගේ විනෝදාංශය වුණේ සාමාන්‍ය පෙළ නිම කරල ගෙදර විවේකීව උන්නු කාලෙ. එය අඛණ්ඩ ක්‍රියාදාමයක් නොවුණත් හැම අවුරුද්දකම මට දිනපොතක් තිබුණා. අතරින් පතර දින සටහන් ලියවුණා. මගේ ම කවි, සිතුවිලි වගේම ඇහැ ගැටෙන හිත් ගන්න කවි, ගීත, සිතුවිලි, කියමන් ඒ දිනපොත්වල ලියැවී හෝ ඇලවී තිබුණා.

ඒත් ඉන් වසර හත අටකට පස්සෙ හොඳටෝම හිත බිඳුණු දවසක මම ඒ දිනපොත් එක ගොඩට දාලා ගිනි දැම්මා.. ‘‘අක්කගෙ අතීතය පුච්චනවා.. පොඩි නංගි හිනා වෙවී ගිනි ගොඩ අවුලුවන්නට උදව් දුන්නා..

‘‘අපරදෙ.. කොයි තරම් වැදගත් දේවල් ලියල තිබුණද? ඈත ඉඳන් බලන් උන්නු අම්ම කිව්වෙ ඇත්තටම දුකෙන්. මං දැනගෙන උන්නා අම්මා මගේ දිනපොත් බලන බව.. මං ලියන දේවල් රහසක් කරගන්න වුවමනාවක් මටත් තිබුණෙ නැහැ. සමහර වැදගත් සිදුවීම් වුණ කාල වකවානු මතක් කර ගන්න ඕන උණාම ‘‘ලොකූ බලන්නකො ඔයාගෙ ඩයරිය.. ලියල ඇතිනෙ.. කියන්න අම්ම පුරුදු වෙලා උන්නා....

දිනපොත් ටික වහගෙන ගිනිදැල් නැගෙද්දිම කළ මෝඩකම ගැන මං දුක් වෙමින් උන්නා. ඒත් ප්‍රමාද වැඩියි. ඉන්පස්සෙ නම් කිසිම දවසක මම දිනපොත් ගිනි තිබ්බෙ නැහැ. ඒ ගින්දරින් හදවතත් දැවෙන බව හොඳටම දන්න නිසා. තමන්ගෙ අතින් ලියන අකුරක් වුණත් නැතිවෙන එක දුකක්.... ඒ වගේම දිනපොතක් අඛණ්ඩව ලියවුණෙත් නැහැ.

දැන් නම් දින පොත කියන තැනට බ්ලොගය ආදේශ වෙලා. ඒත් තාමත් පුංචි දිනපොතක් හැම වෙලේම ළඟ තියෙනවා. අත්‍යවශ්‍ය දින, දුරකථන අංක, වෙනත් තොරතුරු, හදිසියේ පහළ වෙන සිතුවිලි හෙම කුරුටු ගාන්න.

කලින් කලට මට දින පොත් ලියන්න පෙළඹවීම් කළ අය උන්නා. එක්කෙනෙක් ඈන් ෆ්‍රෑන්ක්.. කාලයක් මමත් ඈන් ෆ්‍රෑන්ක් වගේ නමක් නොදන්නා කෙනෙකුට ලියන සටහන් සමුහයක් වගේ දිනපොත ලිව්වා... ඉන්පස්සෙ කාලයක් කැරොලිනා උත්තේජනයක් වුණා... ජීවිතයේ අපමණක් දුක්ඛ දෝමනස්සයන් මැද, ඇද නොවැටී මනුෂ්‍යත්වයට ආදරයෙන් ජීවිතයට මුහුණ දෙන හැටි ලියන්න මටත් ඕන වුණා. ඒ ව්‍යායාමයත් කල් පැවතුණේ නැහැ.

එක අවුරුද්දක් වෙන් වුණේ මනුෂ්‍යත්වයට ආදරයෙන් කරන වැඩ ගැනම ලියන්න.. ඒ කාලය ගෙවුණෙ ළ.ක්‍රි.වී.යත් එක්ක නිසා ඒ තරම් අමාරු වුණේ නැහැ... තවත් අවුරුද්දක සොබාදහමත් එක්ක ගෙවන ජීවිතේ ලියන්න පටන් ගත්තා.. ඒ ලිවිල්ලත් වැඩිකල් පැවතුණේ නැහැ... ලියවුණා නම් අපූරු සටහන් ගොන්නක් වෙන්න තිබුණා නේද කියල හිතුණෙ ක්‍රිෂ්ණමූර්ති දින සටහන් පොත එහෙන් මෙහෙන් පෙරලා බැලූ දවසක....

දැන් වසර දෙකක විතර කාලයක ඉඳල ලියවෙන දින සටහන් ගොන්නක් තියෙනවා. අසිරිමත්, දෛවෝපගත මනුෂ්‍ය සම්බන්ධතාවක් ගැන ලියවෙන ඒ දින සටහන් ගොන්න ප්‍රසිද්ධ කිරීමේ බලාපොරොත්තුවක් නැතත්, එය දිනෙක කතාවක් වන බවට විශ්වාසයක් තියෙනවා.

දන්නෙ නැහැ. අනාගතයේ වෙන්නත් පුළුවන්. නොවෙන්නත් පුළුවන්.

මෑතක සත්‍යවාදියකුගේ දිනපොත කියෙව්වා... ඉතින් ආයෙමත් දිනපොත් ගැන උනන්දුව දැල්වුණා. මේ වතාවෙ වෙනස් විදියෙ වැඩක් කරන්නයි හිතුවේ.......

බලමු...
2014.06.23

No comments:

Post a Comment