Showing posts with label 2014 නිකිණි. Show all posts
Showing posts with label 2014 නිකිණි. Show all posts

Saturday, August 23, 2014

සිහිනෙන්ම මිය ඇදෙමි...


සිහිනයක සිහිනයකි
දෑස් අග හිනැහෙන
තෑග්ගට කඳුළු ම
අරන් එන...

නිම් නොවේවා රාත්‍රිය
සිහිනයේ අත්තටු මුදාලන
අවදිවනු ‍නොරිසියෙන්
තව තවත් ගුලිවෙමි‍...

සිහිනයෙන් හිනැහෙමින්
සිහිනයට හිනැහෙමින්
හදක තෙත ඉවසමින්

සිහිනෙන්ම මිය ඇදෙමි...

Friday, August 22, 2014

සිහින හමුවන දවසක්....


සිහිනෙකින්වත් දකින්නට නොසිතූ නොපැතූ සිහින හමුවන, සිහින සැබෑ වන සිහිනමය දවස් ජීවිතේ ඇත.

අද එවැනි දවසකි.

කුළුඳුලේ මව් පදවිය ලබන්නාක් වැනි සතුටක් දැනේ. 

ස්වර්ගීය සැලසුම් මෙතරම්ම විස්මිත ද? 

2014.08.23

Saturday, August 16, 2014

මමත් තවම ළමයෙක්...

By Pino Deainy

2014.08.16

කුරුණෑගල පදවි දහම් පාසල් රැලිය අද යකඩපත දේවස්ථානයෙදි පැවැත්වුණා. ළමයි එක්දාස්පන්සීයක් විතර ඉන්න ඇති. ළ.ක්‍රි.වී. යට පැවරිලා තිබුණෙ උදෙන්ම ගීත භාවනාවක් කරන්න. මේ තරම් ළමයි ගොඩක් එක්ක මොන ගීත භාවනාද? අපි ඒකට ගීතිකා කිහිපයකුත්, ළමා ගීයක්, තවත් ගීත දෙකක් එකතු කර ගත්තා. සමස්ත වැඩසටහනේ මූලික තේමාව වුණේ ආදරය..........

ළමා ගී වැඩසටහනක්ම කරන්න තිබුණ නම් වඩා හොඳයි.... ඒ වෙලාවත්, ළමයි සංඛ්‍යාවත් ගීත භාවනාවකට සුදුසු නැහැ... නමුත් අපි උපරිම උත්සාහයක් දැරුවා සහ එය සාර්ථකයි කියල හිතෙනවා...

වැඩේ ඉවර වෙලා ස්ටේජ් එකෙන් බහිද්දි ඈන්.. අපි උසස් පෙළ පන්තියෙදි තමයි වඩාම දැන අඳුන ගත්තෙ. දැන් එයා අම්ම කෙනෙක්, උස මහත පිරිපුන්...

‘‘තාම පොඩි එකා වගේ ස්ටේජ් එකේ නටනවා නේද?” ඈ හිනාවෙලා කිව්වා.

‘‘පොඩියි නේන්නම්, දාසයයි මාසයයි.” මමත් හිනාවෙලා කිව්වා.

ඇත්තටම ළමයි එක්ක වැඩ කරද්දි, ළමයි එක්කම ඉද්දි අපිත් ළමයි වෙනවා. වයස යනව දැනෙන්නෙ නැහැ. මට දැනටවත් හිතෙන්නෙ නැහැ මට වයසයි කියල.... ඒත් ළමා වැඩසටහන්වලට ගියාම දැන් දරුවො ඇන්ටි කියනවා, ඉස්සර වගේ අක්ක නොකියන එක ගැන හීනියට දුකක් දැනී නොදැනී යනවා. ඒක තමයි යථාර්ථය. ඇත්තටම දැන් මම නැන්දා කෙනෙක් දරුවන්ට....... අක්කා කෙනෙක් නෙවෙයි.........

ඉල්මිණි නංගිගෙ අම්මා ඇඹරැල්ලා බීම එකක් හදල තිබුණා... අපට... හරිම රසයි, මං පළමු වතාවට ඇඹරැල්ලවලින් හැදූ බීම බිව්වෙ... ලංකාවෙ කොහේ කොතැනක ගියත් ළක්‍රිවි පවුලෙ කෙනෙක් ඉන්නවා.. ඒකම ජීවිතේ ලැබූ කොයි තරම් වාසනාවනක්ද?

....................

අද වැඩසටහන නිම වෙලා යන අතරෙ කට්ටියම මගේ ගෙදර ( තනියෙන් ඉන්න අපේ ගෙදර ) ආවා... ෆාද, සිස්ට, ප්‍රභාත් අයිය, නංගිලා... මුල්ම වතාවට ආවෙ. එයාලට සතුටුයි. හරිම නිදහස්, නිස්කලංකයි කිව්වා. සිස්ට කියනවා ‘‘මේ ගෙදර ඉඳල කොළඹ එන්න නොහිතෙන එක පුදුමයක් නෙවෙයි” කියල.... නිදහසේ ඉන්න ඕන වුණාම එයාත් එනවලු..

අනිවාර්යයෙන්ම.....  ගෙට පදිංචි වුණ මුල්ම කාලෙ ලක්මාල් මල්ලි කමෙන්ට් කරල තිබුණ මතකයි ඔය ගෙදර දොර කවදාවත් වහන්න වෙන්නෙ නෑ කියල.... ඒත් ඉතින් දැන් නම් වැඩිපුරම තියෙන්නෙ වහල තමයි.

ඇත්තටම මට ඕන වුණේ මගේ ගෙදර ආදරය, නිදහස පිරුණු තැනක් කරන්න... ලියන, කියවන අයට, හිතට දුකක් දැණුනම සැහැල්ලුවක් ඕන වෙන හිත මිතුරු හැමදෙනාට ඇවිත් ඉන්න........

ඒත් තවත් ගොඩක් වැඩ තියෙනවා කරගන්න. ඒ නිසා කාටවත් ඇරයුම් කරන්න විදිහක් නැහැ. ඒක එහෙමයි කියල මහා ගොඩක් ණය අරගෙන හිතේ නිස්කලංකෙ නැති කරගන්නත් බෑ මට.. ණයකාරියක් වීම හිතට මහ බරක්. හෙමිහිට වැඩ ටික කරගන්නවා...


Friday, August 15, 2014

වීනු යන්න ගියා...........



‘‘දූගෙ නම වීනු තිලංසා” ලක්ෂ්මි එහෙම කියද්දිම ඒ නම මගෙ හිතේ ඇඳුණා. ඒ වගේ ලස්සන නමක් දාන්න මටත් දුවෙක් හිටිය නම් කියලත් නොහිතුණා නෙවෙයි..

අවුරුදු දෙකක්ම කප්පරක් දුක් විඳල පළ නල රැක ගත්ත වීනු දුව තවත් මට මේ දුක් විඳින්න බෑ කියන්න වගේ අන්තිම හුස්ම පොදත් හිස් අහසට පා කරල ඇස් පියා ගත්තා...

එයාට අවුරුද්දක් පිරුණට පස්සෙ බාරයක් ඔප්පු කරන්න පල්ලි එක්කරන් ආ දවසෙ හිනා වෙවී දාංගල් කරපු හැටි මතකයි තාමත් මට.... කෙට්ටුම කෙට්ටු සිඟිති ශරීරයක් දරාගෙන වුණත් එයා කොයි තරම් ලස්සනට හිනා වුණාද?

මං හිතුවෙ චූටි වීනු මේ වතාවෙත් දුෂ්කර මග ගෙවලා කොහොම හරි පණනල රැක ගනියි කියල....

ලක්ෂ්මි නොනවත්වාම ඇඬුවෙ මගෙ පැටිය මට ඕනෙ, මගෙ දුව මට ඕනෙ කියලමයි.‘ මට ආයෙ කිසිම ආත්මෙක අම්ම කෙනෙක් වෙන්න ඕන නැහැ.. මට මේ වගේ දුකක් දරාගන්න බෑ ආයෙම’ කියල එයා කිව්වත්, මං ප්‍රාර්ථනා කළේ නිරෝගී දරුවෙක් වෙලා වීනු ආයෙම එයාගෙම අම්මට ලැබෙන්න ඕන කියලමයි................

2014.08.14

Tuesday, July 22, 2014

තෑග්ගෙන් තෑග්ග...




2014 ජූලි 18 – 20

මාල පොට උකසින් බේරගෙන සති අන්තෙ ගෙදර ගියේ ලොකු සතුටකින්. ලොකු නංගිගෙ උපන්දිනේට තෑග්ග විදියට මාල පොට දෙන්න මං හිතන් උන්නෙ. ඇත්තටම එතන තිබුණෙ තෑග්ගක් දීමේ අවශ්‍යතාවයට වඩා රත්තරන් උගුලකින් ගැලවීමේ උවමනාවද කියලත් මට හිතෙනවා. බෝඩිමට හොරු පැනල තිබුණු රත්තරන් කෑලි ටිකත් අරන් ගියාට පස්සෙ රත්තරන් කියන්නෙ අනවශ්‍ය බරක් බව තදින්ම දැනිල තිබුණෙ. බෝඩිමේ තියන්නත් බෑ. ගෙදර තියන්නත් බෑ. පළඳින්නත් බෑ. අනිත් හැම බරක්ම හිතින් අයින් කරල සැහැල්ලු වෙනව වගේ එයිනුත් නිදහස් වෙන්නයි මට ඕන වුණේ.

මාල පොට දුන්නම ලොකු නංගි හරි සතුටු වුණා. එවෙලෙම මාල පෙත්තක් අමුණල කරේ දාගත්තා.

‘‘ඔයාටත් තෑග්ගක් තියෙනවා. ගේ ඇතුළෙ..” ලොකු නංගියි පුතයි අගේ කර කර කියද්දි මට හිතාගන්න බැරි වුණා. පුරුදු විදියට එයාලගෙ ගෙදරින් රෑ කෑම කාලා ලොකු නංගි එක්කමයි ඇවිත් මගේ ගෙදර දොරවල් ඇරියෙ. එයානෙ මගේ ආරක්ෂිකාවත්.

පරණ සාරියකින් වහල අලුත්ම බයිසිකලයක්... මට වාවගන්න බැරි සතුටක් වගේම ලොකු දුකකුත් දැණුනා. දවස පුරා බුලත් කොටුවල වැඩ කරල ගන්න සල්ලි.. පව්...

බයිබලයේ එන වැන්දඹුවගේ පඬුර ගැන කතාව මට මතක් වුණේ.. මහා පෝසතා දැම්ම සල්ලි මිටියට වඩා දුප්පත් වැන්දඹුවගේ තඹය වටින බවයි ජේසු කියන්නෙ. ඒ ඈ සතු සන්තකය. ඒ වගේම ඇය හදවතින්මයි ඒ පඬුර දෙවියන්ට ඔප්පු කළේ... ඒ නිසයි ඒ දුප්පත් පඬුර දෙවියන්ට වඩාත් වටින්නෙ.

ලොකු නංගිගෙ තෑග්ග සියදහස් ගුණයක් වටිනාකමින් වැඩිත් ඒ නිසාමයි. ඇගේ දහඩිය මහන්සිය. ඈ සතු සන්තකය ඇගේ තෑග්ග ඇතුළෙ තියෙනවා. දවස පුරා ඉඳගෙන බුලත් අමුණන එක, දවස පුරා හිටගෙන බුලත් දළු බඳින එක, බුලත් පාත්තිවලට පොහොර දාන එක, බුලත් පාත්ති අතර තණකොල උදළු ගාන එක කොයි තරම් අමාරුද කියල මට හිතාගන්න හැකි. උදළු පාරවල් දෙකතුනටත් මට මහන්සි දැනෙනවා. අත්වල කර ගැට එනවා. ඒත් ලොකු නංගි හැමදාමත් කරන්නෙ එවැනි වැඩ. ඒ ශ්‍රමයට ලැබෙන මිල ඇය මට තෑග්ගක් විදියට තිළිණ කරද්දි ලොකු සතුටකින් භාර ගත්තත් මගේ හිත ඇතුළෙ ලොකු දුකකුත් තිබුණා. ඒ දුක ඇයට කරන අසාධාරණයක්. ඇගේ ධෛර්යවන්ත ජීවිතය ගැන අපි ආඩම්බර වෙන්න ඕන. සතුටු වෙන්න ඕන ඇත්තටම.

‘‘ඉන්නකො මං ඔයාට හොඳ තෑග්ගක් අරන් දෙනවා. මම කවදාවත් ඔයාට ලොකු තෑග්ගක් අරන් දීල නැහැනෙ...” ලොකු නංගි කිය කියාමයි උන්නෙ. ඉතින් ඒ තෑග්ග අරන් දීල ඈ විඳින අහිංසක සතුටට බාධා කරන්නත් මට හිතුණෙ නැහැ.

ගමේ ආවම එහෙ මෙහෙ යන්න හොඳම වාහනේ බයිසිකලය. කාගෙවත් බයිසිකලයක් ඉල්ලගන්න බැරි වුණාම මම කරන්නෙ එක්කෝ ගේ ඇතුළටම වෙලා ඉන්න එක. නැත්නම් ඇඟටත් හොඳයිනෙ කියල පයින්ම යනෙන එක... ඒ හින්ද වෙන්න ඇති ලොකු නංගි බයිසිකලයක් අරන් දෙන්න හිතුවෙ.

‘‘ඔයාට දැන් කිරිල්ලියක් වගේ හිතේ හැටියට ගම වටේ යන්න පුළුවන්” ලොකු නංගි කිව්වා. ඇත්තටම මං මේ සතිඅන්තෙ කිරිල්ලියක් වගේ සැහැල්ලුවෙන් මහගෙවල්වල ගියා. පල්ලි ගියා... අලුත් බයිසිකලේ. හැමෝටම කිව්වත් එක්ක ලොකු නංගි අරන් දුන්නෙ කියල හරිම ආඩම්බරෙන්.

..........................................

අපේ ගමෙත් කාලෙන් කාලෙට එක එක ක්‍රීඩා. මේ දවස්වල බැඩ්මින්ටන්. සෙනසුරාදා හැන්දෑවෙ මමත් ගියා සෙල්ලම් කරන්න. මං හිතන්නෙ බැඩ්මින්ටන් පිත්තක් අල්ලන්නෙත් අවුරුදු ගාණකින්... ඒත් තාමත් මං දක්ෂ ක්‍රීඩිකාවක්නෙ. ඒ බව පැහැදිලි වුණා.

හැබැයි කොන්දෙ කැක්කුම වැඩි වුණා...

..........................................

පල්ලිය හදල අවුරුදු විස්සකට පස්සෙ යාම්තම් අපට උදේ පූජාව දෙන්න පටන් ගත්තා. ඉරිදා උදේ හයට. කොයිතරම් හොඳද? උදෙන්ම පල්ලි ගිහින් පූජාවට ඉඳල, නෑයින්ගෙ මූණුත් දැකල කතා බහ කරල උදේ ඉරයි හුළඟයි එක්ක ගෙදර එන එක හරිම සුන්දර වැඩක්....