Tuesday, July 22, 2014

තෑග්ගෙන් තෑග්ග...




2014 ජූලි 18 – 20

මාල පොට උකසින් බේරගෙන සති අන්තෙ ගෙදර ගියේ ලොකු සතුටකින්. ලොකු නංගිගෙ උපන්දිනේට තෑග්ග විදියට මාල පොට දෙන්න මං හිතන් උන්නෙ. ඇත්තටම එතන තිබුණෙ තෑග්ගක් දීමේ අවශ්‍යතාවයට වඩා රත්තරන් උගුලකින් ගැලවීමේ උවමනාවද කියලත් මට හිතෙනවා. බෝඩිමට හොරු පැනල තිබුණු රත්තරන් කෑලි ටිකත් අරන් ගියාට පස්සෙ රත්තරන් කියන්නෙ අනවශ්‍ය බරක් බව තදින්ම දැනිල තිබුණෙ. බෝඩිමේ තියන්නත් බෑ. ගෙදර තියන්නත් බෑ. පළඳින්නත් බෑ. අනිත් හැම බරක්ම හිතින් අයින් කරල සැහැල්ලු වෙනව වගේ එයිනුත් නිදහස් වෙන්නයි මට ඕන වුණේ.

මාල පොට දුන්නම ලොකු නංගි හරි සතුටු වුණා. එවෙලෙම මාල පෙත්තක් අමුණල කරේ දාගත්තා.

‘‘ඔයාටත් තෑග්ගක් තියෙනවා. ගේ ඇතුළෙ.. ලොකු නංගියි පුතයි අගේ කර කර කියද්දි මට හිතාගන්න බැරි වුණා. පුරුදු විදියට එයාලගෙ ගෙදරින් රෑ කෑම කාලා ලොකු නංගි එක්කමයි ඇවිත් මගේ ගෙදර දොරවල් ඇරියෙ. එයානෙ මගේ ආරක්ෂිකාවත්.

පරණ සාරියකින් වහල අලුත්ම බයිසිකලයක්... මට වාවගන්න බැරි සතුටක් වගේම ලොකු දුකකුත් දැණුනා. දවස පුරා බුලත් කොටුවල වැඩ කරල ගන්න සල්ලි.. පව්...

බයිබලයේ එන වැන්දඹුවගේ පඬුර ගැන කතාව මට මතක් වුණේ.. මහා පෝසතා දැම්ම සල්ලි මිටියට වඩා දුප්පත් වැන්දඹුවගේ තඹය වටින බවයි ජේසු කියන්නෙ. ඒ ඈ සතු සන්තකය. ඒ වගේම ඇය හදවතින්මයි ඒ පඬුර දෙවියන්ට ඔප්පු කළේ... ඒ නිසයි ඒ දුප්පත් පඬුර දෙවියන්ට වඩාත් වටින්නෙ.

ලොකු නංගිගෙ තෑග්ග සියදහස් ගුණයක් වටිනාකමින් වැඩිත් ඒ නිසාමයි. ඇගේ දහඩිය මහන්සිය. ඈ සතු සන්තකය ඇගේ තෑග්ග ඇතුළෙ තියෙනවා. දවස පුරා ඉඳගෙන බුලත් අමුණන එක, දවස පුරා හිටගෙන බුලත් දළු බඳින එක, බුලත් පාත්තිවලට පොහොර දාන එක, බුලත් පාත්ති අතර තණකොල උදළු ගාන එක කොයි තරම් අමාරුද කියල මට හිතාගන්න හැකි. උදළු පාරවල් දෙකතුනටත් මට මහන්සි දැනෙනවා. අත්වල කර ගැට එනවා. ඒත් ලොකු නංගි හැමදාමත් කරන්නෙ එවැනි වැඩ. ඒ ශ්‍රමයට ලැබෙන මිල ඇය මට තෑග්ගක් විදියට තිළිණ කරද්දි ලොකු සතුටකින් භාර ගත්තත් මගේ හිත ඇතුළෙ ලොකු දුකකුත් තිබුණා. ඒ දුක ඇයට කරන අසාධාරණයක්. ඇගේ ධෛර්යවන්ත ජීවිතය ගැන අපි ආඩම්බර වෙන්න ඕන. සතුටු වෙන්න ඕන ඇත්තටම.

‘‘ඉන්නකො මං ඔයාට හොඳ තෑග්ගක් අරන් දෙනවා. මම කවදාවත් ඔයාට ලොකු තෑග්ගක් අරන් දීල නැහැනෙ... ලොකු නංගි කිය කියාමයි උන්නෙ. ඉතින් ඒ තෑග්ග අරන් දීල ඈ විඳින අහිංසක සතුටට බාධා කරන්නත් මට හිතුණෙ නැහැ.

ගමේ ආවම එහෙ මෙහෙ යන්න හොඳම වාහනේ බයිසිකලය. කාගෙවත් බයිසිකලයක් ඉල්ලගන්න බැරි වුණාම මම කරන්නෙ එක්කෝ ගේ ඇතුළටම වෙලා ඉන්න එක. නැත්නම් ඇඟටත් හොඳයිනෙ කියල පයින්ම යනෙන එක... ඒ හින්ද වෙන්න ඇති ලොකු නංගි බයිසිකලයක් අරන් දෙන්න හිතුවෙ.

‘‘ඔයාට දැන් කිරිල්ලියක් වගේ හිතේ හැටියට ගම වටේ යන්න පුළුවන් ලොකු නංගි කිව්වා. ඇත්තටම මං මේ සතිඅන්තෙ කිරිල්ලියක් වගේ සැහැල්ලුවෙන් මහගෙවල්වල ගියා. පල්ලි ගියා... අලුත් බයිසිකලේ. හැමෝටම කිව්වත් එක්ක ලොකු නංගි අරන් දුන්නෙ කියල හරිම ආඩම්බරෙන්.

..........................................

අපේ ගමෙත් කාලෙන් කාලෙට එක එක ක්‍රීඩා. මේ දවස්වල බැඩ්මින්ටන්. සෙනසුරාදා හැන්දෑවෙ මමත් ගියා සෙල්ලම් කරන්න. මං හිතන්නෙ බැඩ්මින්ටන් පිත්තක් අල්ලන්නෙත් අවුරුදු ගාණකින්... ඒත් තාමත් මං දක්ෂ ක්‍රීඩිකාවක්නෙ. ඒ බව පැහැදිලි වුණා.

හැබැයි කොන්දෙ කැක්කුම වැඩි වුණා...

..........................................

පල්ලිය හදල අවුරුදු විස්සකට පස්සෙ යාම්තම් අපට උදේ පූජාව දෙන්න පටන් ගත්තා. ඉරිදා උදේ හයට. කොයිතරම් හොඳද? උදෙන්ම පල්ලි ගිහින් පූජාවට ඉඳල, නෑයින්ගෙ මූණුත් දැකල කතා බහ කරල උදේ ඉරයි හුළඟයි එක්ක ගෙදර එන එක හරිම සුන්දර වැඩක්....

Monday, July 14, 2014

සංසාර චාරිකා


By William Bouguereau

2014 ජූලි 14

දුරකථනය හඬ නොනගාම වෙව්ලුවා.. පාන්දර 2.30. සේපාලි.. වෙන්න බැරි වැඩක්.. මේ පාන්දර...

තද නින්ද කැඩිලා මං ගැස්සිලා බලන් උන්නා.. දුරකතනය නොනවත්වාම සේපාලි නම පෙන්වමින් දැල්වුණා.

හිත අනතුරු ඇඟෙව්වා.. ගැස්සුණ හිතින්මයි මම දුරකථනය  කණට ළං කර ගත්තෙ...

‘‘අනේ.. තරංගි කියද්දිම මගේ හිත අනතුරු ඇඟවුම නිශ්චිත අදහසක් බවට පරිවර්තනය කළා...

‘‘ඇයි අම්මට මං ඇහුවා..

‘‘අනේ තරංගි අම්මා නැති වුනා.... අද අවසන් කටයුතු කරනවා... සේපාලි කිව්වා..

දෙයියනේ අද?... පොළොන්නරුවෙ... ඉතින් යන්නෙ කොහොමද?

ජීවිතේ හමුවූ තවත් ආදරණීයම අම්ම කෙනෙක්... සමුනොගෙනම සමු ගෙන යනවා...

ලස්සන ම මතකය

මට ඈ ගැන තියෙන ලස්සනම මතකය ...

වසර දහයකට විතර එපිට සරසවි නිවාඩු කාලෙක මං පොලොන්නරුවෙ සේපාලිගෙ ගෙදර ගියා. ඒ දිනවලම ඥාති විවාහ මංගල උත්සවයක් යෙදිල තිබුණා එයාලට... මං උත්සාහ කළේම ගෙදර නවතින්න. ඒත් සේපාලිගෙ අම්ම එකඟ වුණේම නැහැ. සේපාලිටයි පොඩි අක්කටයි වගේම මටත් ලස්සන සල්වාර් එකක් අන්දල, කොණ්ඩ මෝස්තරයක් දාලා, මලක් ගහල මාවත් මගුල් ගෙදර එක්කරගෙන ගියා. එයාගෙ ඥාතීන්ට මාව අඳුන්නල දුන්නෙ මට තවත් දුවෙක් ලැබුණා කියල.... ඇත්තටම ඒ ගෙදර මට මගේ ම ගෙදර වගේ වුණා...

ඉතින් ඒ අම්මයි අද නොඑනා ගමන් යන්නෙ...

ආදරණීය අම්මේ ඔබට සදාතනික සැනසුම... නිවීම...

සාහිත්‍ය සංසාර චාරිකා

හවස සේරි ප්‍රකාශන විදියට නිකුත් වුණු මණ්ඩාවල පඤ්ඤාවංස හාමුදුරුවන්ගෙ පරිවර්තන කිහිපය සහ ඩබ්.ඒ. අබේසිංහ මහත්මයා පරිවර්තනය කළ හෙසගෙ සිද්ධාර්ථ දොරට වැඩුමේ උත්සවයට ගියා. ජාතික පුස්තකාලයට.. සිද්ධාර්ත ගන්නත් ලොකු ඕනකමක් තිබුණා...

මණ්ඩාවල හාමුදුරුවන්ගෙ කතාවෙන් අඩක් අහන්න ලැබුණෙ. නමුත් ඒ ටික බොහොම හිතට ඇල්ලුවා... මුනිවර ලකුණු ගැනයි හාමුදුරුවො කතා කළේ... මුනිවරියක් වීම කෙසේවෙතත් ඒ මාර්ගයට ඇතුළු වෙන්නවත් ඇත්නම් හොඳයි කියල හිතෙනවා. නිශ්චලත්වය තුළ නිසංසල දිවියක්.... 

එස්.ජී. පුංචිහේවා මහත්මයා ළඟටම ගිහින් කතා කළා. ඊයෙ ෆාද ඇලොයි ආදරය සහ සේවය ගැන කතා කරද්දි පුංචිහේවා මහත්මයව මතක් කළේ හරිම ආදරයකින්, ගෞරවයකින්... ක්‍රිස්තු ජීවන මාර්ගයේ නොසැලී යන අන්‍යාගමිකයෙක් කියලයි ෆාද ඔහුව අගය කළේ... මම ඒ බව කිව්වම බොහොම නිහතමානීව හිනාවුණා..

අද හරිම ඓශ්චර්යමත් දවසක් කියලත් හිතෙනවා.. පහුගිය දවස් ටිකේ තුලන ඉද්දි උත්තරානන්ද හාමුදුරුවන්ගෙ චිත්‍ර නිතරම දකිමින් උන්නෙ... අද ඒ හාමුදුරුවොත් මුණ ගැහුණා... කතාබහ කළා...


සාහිත්‍ය සංසාර චාරිකා කියවල තිබුණත් ළඟ තිබුණොත් හොදයි කියල හිතිලයි තිබුණෙ කාලෙක ඉඳල.. අද ඒ පොත් දෙකත් ගත්තා... 

අතේ සතේ නැති වුණත් පොත් ගන්න දෙපාරක් නොහිතන එක මගේ හොඳ ගුණයක්ද? නරක ගුණයක්ද මන්ද? මේ පොත් පිස්සුව නිසා වෙලාවකට මොන තරම් ආර්ථික අමාරුකම්වලට මුහුණ දෙනවද? ඒත් නොගෙන ඉන්නත් බැහැනෙ.... 

Saturday, July 5, 2014

අත්හැරුණු නොහැරුණු ජීවිතේ

By Emile Munier

2014 ජූලි 05
තනියෙන් ඉන්න අපේ ගෙදර

සරසවි ජීවිතේ සටහන් එකතු කළ ඉපැරණි පොත් පෙට්ටියක් අස් කළා අද.. 2004 න් පස්සෙ ඒ සටහන් ගොන්නට අත තියලවත් නැහැ. ඉගෙනීමයි රස්සාවයි කොහෙත්ම එකට ගැළපිලා නොයන ඓශ්චර්යමත් රටක ආයෙමත් ඒ සටහන්වලට වැදගත්කමක් නොලැබෙන බව දැන දැනම උණත් පරිස්සම් කරල තියාගත්තෙ සටහන් අතර ලියැවුණු කවි නිසා. ඉඳහිට ලියන ලිපියකට වැදගත්වන යමක් තියෙන්නත් ඉඩ ඇති නිසා...

සටහන් අතර තිබුණා දියසායම් චිත්‍රයක්.. ඇස්වල කඳුළු පුරවගත්ත යුවතියක්.. යුවතිය වටේම කවි ඉහිරිලා...

චූටි දෝණිට ඕන වුණා ඒ වගේම චිත්‍රයක් මං ලව්ව අන්ඳගන්න.. එකක් ඇන්දා.. හරි ගියෙ නැහැ...

‘‘ඒක එපා.. කැතයි.. ලස්සන එකක් ඕන.. දෝණි මූණ ඇඹුල් කර ගත්තා.

‘‘දැන් ගොඩක් කාලෙකින් චිත්‍ර ඇන්දෙ නැහැනෙ මැණික.. මම්මට දැන් චිත්‍ර අඳින්න බෑ.. පුරුදු නෑ.. මං කිව්වා.

‘‘ඉතින් අර ලස්සනට ඇඳල තියෙන්නෙ.. පුරුදු වෙන්නකො.. දෝණිට චිත්‍රයක් ඕනෙම වුණා.. ඉතින් මං ආයෙමත් ඇන්දා.. හැබැයි කඳුළු පිරුණු මූණක් නෙවෙයි.. හිනා පිරුණු මූණක්.. කඳුළු හරි වටිනවා කියල දන්නවා දැන් මම.. ඒ නිසා නිකරුණේ කඳුළු හෙලන්නෙ නෑ...

මොන හැලහැප්පීම් මැද්දෙ උණත් ජීවිතෙන් අතෑරුණේ නැත්තෙ කවිය.... චිත්‍ර ඇඳිල්ල අමතක කරල දැම්ම එක ගැන නම් දුකයි...

කවි ටිකකුත් හමු වුණා... මේ 2000 වසරේ සටහන් අතරින් හමුවුණු කවියක්... මොන හේතුවක් නිසා මෙහෙම කවියක් ලියවුණාද කියල නම් මතක නැහැ... ඒ කාලෙ කවි කියවද්දි දැන් ලැජ්ජත් හිතෙනවා..

මේ කඳුළු ගඟට ඉහළින් ඇයි පායනු පුන් සඳ
සුදු සඳ කිරණට හැකි වෙද සිඳිනට කඳුලැලි ගඟ
ඔය කඳුළු ගගේ පතුල සැඟව ඇත්තේ මුතු කැට
ඒ මුතු කැට අහුලන්නට මට අවසර දෙනවද...

කදුළු මිසක මෙතෙක් නොදුටුවෙමි මේ මුතු කැට
ඒ කදුළු මැදට සිනා ගෙනෙන මුතු අහුර ය ඔබ...
නෙතේ රැඳෙන තුරු කඳුලත් මුතු කැටයක් වගේ
දිය බිඳුවක් වී නොවැටී තිබුණොත් හරි අගේ ......

මුතුකැට අහුලා එකිනෙක අමුණා මුතුහර
ඔබ දිනෙක යාවි අරගෙන මට උරුම කඳුළු ගඟ
ඔබේ කඳුළු සෙනෙහ සිතින් දෝතට ගෙන මම
මුතුහර ඔබ ගෙළ පළඳමි සැක සංකා හැර.......

..............................................

‘‘දුවේ...දුවේ

කියන හඬට මං ගෙයින් එළියට හිස පොවල බැලවා.. නිලමෙ අත්තගෙ බාල දුව.. බයිසිකලෙත් අල්ලගෙන පාර අද්දර..

‘‘ඔයාට දං ටිකක් දෙන්නද? ” ඈ හිනා වෙවී අහනවා.

‘‘අනේ හා.. ” මං ඉක්මණින් ළගට ගියා. දං ගෙඩියක් දකින්නෙත් කාලෙකින්..

කිරි අල කොලයක් ඉරටුවකින් අමුණල ගොටුවක් හදල ඒකෙ ඉදුණු දං අහුරක්.. ඈ මා අත තිබ්බා.. මට හරි ආදරේ හිතුණා.. දං නිසාම නෙවෙයි.. ඒ සෙනෙහස නිසා...


පුංචිම කාලෙත් මමයි නංගියි එහෙ දුවනවා.. වෙරළු අහුලන්න. සමහර දාට කන්න තියෙන දේකුත් දීල තේත් හදල දෙනවා.. ඒ ගමේකම තාමත් මෙහෙම හරි රැකිල තියෙන එක කොයි තරම් දෙයක් ද? 

Wednesday, July 2, 2014

මිථ්‍යාදෘෂ්ටිකයා


By Daniel Gerhartz
2014 ජූලි 02

‘‘අක්ක අර පොත කියෙව්වද? ඔහු ඇසුවේ කී වෙනි වතාවට දැයි මට මතක නැත.

‘‘නියම පොතක් අක්කෙ. මට කියවන්න ලැබුණු හොඳ සිංහල නවකතාවක්. මේ පොත ගැන හරි අවධානයක් ලැබුණෙ නැහැ. ඔයත් කියවල බලන්නකො. පොත මා අත තැබුවේද ඔහුම ය. ඒ මින් සති කිහිපයකට පෙර ය.

‘‘ඔයත් මාර පොත් නෙ මට දෙන්නෙ..

‘‘ඇයි?

‘‘මුලින්ම සිද්ධාර්ථ, ඊළඟට ඩේමියන් දැන් මිථ්‍යාදෘෂ්ටිකයා.. මාව මුනිවරියක් කරන්නද හදන්නෙ..” දීර්ඝ සංවාදාත්මක වර්ණනාවකින් පසුව පොත ප්‍රවේසම් කර දීමේ ප්‍රතිඥාව මත මුලින්ම මා අත තැබූ හෙස ගේ සිද්ධාර්ථ සිහිපත් කරමින් මම පැවසීමි.

‘‘ඇයි නරකද?”

‘‘නෑ... ඇත්තටම හොඳයි. ජීවිතේ ගැන අලුතින් හිතන්න උදව්වුණ පොත් ටිකක්..” කෘතවේදී හදවතින් මම හිනැහුණෙමි. සැබවින්ම සියලු බන්ධනයන් සහ එකී බන්ධනයන් නිසා ඇති වන අපමණ රිදුම් ඉක්මවා යා හැකි අධ්‍යාත්මික සංහිඳීමක් ගැන හිත ඉව අල්ලමින් සිටින කලෙක ඔහු දුන් පොත් ඉසිවර මං ලකුණු දැල්වූ බව බැහැර කළ නොහැකි  සත්‍යයකි.

නමුත්  ‘‘මිථ්‍යාදෘෂ්ටිකයා විටින් විට යටපත් වනු මිස අතට ගන්නට සිතුණේම නැත. හිත වෙහෙස කරවන බරසාර පොතක් ය යන සිතුවිල්ල ඇති කළේ ද පොත ලබා දුන් මිථ්‍යාදෘෂ්ටිකයා විසින්ම ය. ඒ ඔහු පොත ගැන ලියු විචාර සටහන මා නෙත ගැටෙන්නට සැලැස්වීමෙනි. එකී විචාරය මවෙතින් පොත දුරස් වන්නට හේතු වුවා මිස කියවීමේ ඇල්ම වැඩූයේ නම් නැත. ඉතින් වරද පොත වැනූ මිථ්‍යාදෘෂ්ටිකයාගේ මිස මගෙ නොවේ.

පොත කියවන තාක් ගැළවීමක් නැති බව හැඟුණ හෙයින් ම, නෙත සිත අවදි වු අද හිමිදිරියේ පොත අතට ගතිමි. පැරණි සම්භාවය ගද්‍ය සාහිත්‍යයට නෑකම් කියන භාෂා රටාවකින් සහ ආකර්ශණීය කතා තේමාවකින් යුතු මිථ්‍යාදෘෂ්ටිකයා සැබවින්ම මසිත දිනූයේ නිරායාසයෙනි.

නිර්මාණ කෘතියක් ඇසුරු කිරීමට පෙර ඒ පිළිබඳව ලියැවුණ විචාර විවේචන, රස විඳීම් නොකියවිය යුතු බවට මගේ වන හැඟීම කොතරම් සාධාරණ දැයි නැවත වරක් ප්‍රත්‍යක්ෂ විය.