Thursday, October 30, 2014

නාය ගිය හදකින්...

by artist Laura Kikauka,

උණුහුම් සුසුමක්
ගින්දර වගේ
මේ මෙතැන
සුන්බුන් අතර
තාත්තා කෙනෙකුගේ...

බොර පාට මඩ වතුරෙ
අර අතන
ඉකිබිඳින
අව පාට කඳුළු බිඳ
අම්මා කෙනෙකුගේ

දර ඉපල්ලක් වගේ
කෘශ ගැහුණු
තේ කහට ඇඟිලි තුඩු
හීතලට ඉරිතැළුණු
වියපත්
මිත්තණියගේ...

මළ බැඳි යකඩ තහඩුව යට
මව් උණුහුමක් නැතද
දිලිසෙන සිනා පොද
සිඟිති කිරි කැකුලගේ...

නාය ගිය පපුකුහර
පිරෙන තුරු
හුස්මක් ගන්න සැනසුමෙන්
පස් කන්ද යට
තවම නිවනක් නෑ වගේ...


පස් කඳු යට වැළලුණු මිනිසුන් ගැන මහා කම්පාවක් දවස පුරාම....

ගිය වසරෙ ක්ෂේත්‍ර චාරිකාවකදි නාය යෑම නිසා ඉවත් කළ පවුල් හිටි ගමක් මුණ ගැහුණා. පර්චස් විස්සයි, රු.50000 යි, තහඩු ටිකකුයි ඒ මිනිස්සුන්ට ලැබිල තිබුණෙ.. අටවාගත්ත ගෙවල්වල වුණත් ඒ මිනිස්සු සතුටින් උන්න බව දැණුනා ලැබුණු පර්චස් විස්සක ඉඩම ගැනත්, මහපාරට කිට්ටුවෙන් ඉන්න ලැබීම ගැනත් සෑහීමෙන්.

ඒ ගමත් තිබුණෙ කන්දකම තමයි.. ඉහළට යන්න යන්න දුෂ්කරයි. ඒත් ඒ අමාරුකම් ගණනකට නොගැනෙන්නෙ උන්නු තැන්වලට වඩා මේ ලැබුණු තැන හොඳ නිසා වෙන්න ඇති...
පස්කඳුවලට යට වුණ මිනිස්සුන්ට දොස් කියල වැඩක් නෑ. ඒ මිනිස්සුන්ට ජීවත් වෙන්න පුළුවන් පරිසරයක ඉඩමක් ගෙයක් දොරක් ලැබුණනම් නොයා ඉන්නෙ නැහැනෙ...

අනික අපේ රටේ මේ කරන නාස්තිකාර වැඩවල හැටියට දුප්පත් මිනිස්සුන්ට පහසුකම් සලසන්න බෑ කියන එක අපායගාමී මහා බොරුවක්... ධනවතුන්ටයි, පිටරට සමාගම්වලටයි ඉඩම් විකුණන, බදු දෙන හැටියට මේ දුප්පතුන්ට බිම් අඟලක් දෙන්න බැහැයි කියන එකත් ඒ වගේම මහා බොරුවක්..

ඇත්තම ඇත්ත කතාව නම් මේ රටේ පාලකයින්ට දුප්පතුන්ගෙ ජීවිත ගැන කිසිම වගකීමක් නෑ.
මේ සම්බන්ධයෙන්ම ඉවාන් ලියල තියෙන ලිපියෙ එක තැනක තියෙනවා මේ විදියට...

‘‘ආදරණීය සොයුරනේ ඔබ සැමට මතු උපදින් ආත්මයක මෙවන් විපතක් නොවේවා, පොම්පේ ජනතාවට හිමිවූ ගෞරවය ඔබට කිසිදා හිමි නොවනු ඇත, තව සති දෙකකින් සියල්ල අමතකව යාවි ,නැවත මෙවැන්නක් සිදුවනතුරු.



පවුලෙ අය නැතිව තනිවුණ දරුවන්ගෙ ඉරණම මොන වගේ වේවිද? පව් ළමයි. වැඩිහිටි අය කොහොම හරි ජීවිතේට මුහුණ දේවි.. ඒත් වැඩියෙන්ම අසරණ වෙන්නෙ ළමයි. කටුකම ජීවිතයක් උරුම වෙන්න වැඩි ඉඩක් තියෙන්නෙ දරුවන්ට...

Wednesday, October 29, 2014

පස් කඳු යට අහිංසක සමනල්ලු

Painting By Lily Greenwood

තනියෙන් ඉන්න අපේ ගේ වටේට හරියට සමනල්ලු ඉන්නවා. පියන්පත් නැති ජනෙල් කූරු අතරින් උන් වෙලාවකට ගේ ඇතුළට එනවා. පුංචි සුදු සමනලයෙක්.. නැත්නම් පුංචි කහපාට සමනලයෙක්. මම ලිය ලියා ඉද්දි, අකුරු කොට කොටා ඉද්දි, පොත් කියව කියවා ඉද්දි උන් නිස්කලංක ගේ පුරා එහෙ මෙහෙ පියාඹනවා. ‘‘මෙහෙමත් පිස්සු කෙල්ලෙක් සමනලුන්ට වුණත් එහෙම හිතෙනවා ඇති. 

සමනල් පිහාට්ටක් වගේ හිතක් තියාගෙන බඹර, දෙබර ලෝකෙ හැප්පෙන්න බැරි බව සමනල්ලුන්ට වුණත් තේරුම් කරල දෙන්නෙ කොහොමද?

පෑන වෙනුවෙන් පණ වුණත් දෙන්න ඇහැකි, ගැඹුරක් නැති අකුරක්වත් ලියන්න අකමැති කෙනෙක් වෙනුවෙන් තෝල්ක වැඩක් කරන්න ගිහින් මට සමනල් යාළුවෙක් අඳුනගන්න ලැබුණා. සමනල්ලු ගැන අපි මොනාද දන්නෙ, ඒ කතා බහේදි මට හිතුණා...

‘‘සමනලයෙක්ගෙ ආයු කාලය සති දෙක තුනයි.. ඒක සමනල් වර්ගය අනුව වෙනස්වෙන්නත් පුළුවන්. පව් අහිංසක සමනල්ලු. ලංකාවෙ සමනල් වර්ග 245 ක් විතර ඉන්නවා... එයින් 23 ක් ලංකාවටම ආවේණිකයි. සමනල්ලුන්ගෙ නම් තමයි හරිම ලස්සන..

Common Moment - වෙස්ගත්තී
Common Indian Crow - ඉන්දු කාකයා
Common Zebra Blue - නීලයා
Lemmon Emigrant - දෙහිසැරියා
Mottle Emigrant - ලපසැරියා
Psyche - මනහාරී
Jezebel - පිළල රිසියා

හරි අපූරු නම් නේද?
.................

අද එන අතරෙ ඇහැ ගැටුණෙ නෙළුම් කුළුණ සෑහෙන්න උස ගිහින්.. ඒ අතර කණ වැටුණෙ නායයෑමකින් 400 ක් අතුරුදහන්.. අසිරිමත් ලංකාවෙ පස් යට වැළලෙනවා ඇර දුප්පතුන්ට වෙන විකල්පයක් නෑ....

හිතේ අමාරුවටත් එක්ක කවියක් ලියවුණා...

නෙළුම් කුළුණු ළඟ දැවෙන කඳුළු
------------------------------------

උස් උස් ව දිනෙන් දින
නැගෙන්නෙය...
නූස් හද බොල් බව ම
කියන්නෙය...

හිස් කුස් ය ගමින් ගම
දැවෙන්නෙය..
උස් අසිරි උනට නොව
රජුන්ට ය.....

හිස් බස් ම මුවින් මුව
රැඳෙන්නෙ ය..
වස් වදින සෙත් කවි ම
ඇසෙන්නෙය....

ඇස් පිසින කඳුළ ගිනි
රැඳෙන්නෙය
වස් කවිය වී එ ගිනි
නැගෙන්නෙය....
..............
විදර්ශනගෙ තාත්තගෙ අවමංගල්‍යය........ ‘‘මේ රටේ මිනිස්සු තනිකර කෙළින්නෙ පිස්සු“ ගීතය ලියල තියෙන්නෙ ඒ තාත්තා බව දැනගත්තෙ මේ මරණය නිසා. ඒ පිස්සු දැක දැක ජීවත් වෙන්න සිදුවුණ අපියි අවාසනාවන්ත...
.............

ගිනි පුපුරකට  වුණත් සමනලයෙක් වෙන්න පුළුවන්...
අහිංසක සමනලයෙක්

මං මේ අත්දැකීමෙන්මයි කියන්නෙ...

Tuesday, October 28, 2014

මගේ ආදරණීය ගිනි පුපුර


පොලියානා තියරියෙන් දේවල් විග්‍රහ කරගන්න එක හිත හදාගන්න පහසුවක්.. සිද්දවෙන අන්තිම නරක දේක වුණත් පුංචි හරි හොඳක් හොයාගෙන ඒ ගැන හිතල සතුටු වෙන එක. පොලියානගෙ සතුටු වෙන සෙල්ලම වගේ වෙලාවකට කොයි තරම් වටිනවද?

දවා අළු කරන ගින්දරමයි ආලෝකය දෙන්නෙත්. ආදරයත් හරියට ගින්දර වගේ. පිච්චෙන බව ඇත්ත. ඒත් ඒ ආදරයම තමයි ජීවිතේ ආලෝකයත්.... මගේ දැවීමත්, මගේ ආලෝකයත් මේ ප්‍රේමයම තමයි.....  මගේ ආදරණීය ගිනි පුපුර....

එකම එක වචනයක් අල්ලගෙන ගිනි පුපුර ඇවිළුණු තරම.. හුස්මක් නොගෙන ඔය විදියට චෝදනා ගොනු කරන්න පුළුවන් ඔබට ම තමයි. අපරාදෙ පෙරකදෝරුවෙක් නොවුණෙ. විත්තිකරු පව්. එයාට ඉතින් හුස්මක්වත් ගන්න ඉඩක් නැහැනෙ. අඬන්න විතරයි පුළුවන්. ඒකත් නෑහෙන්න.

.................

අද රිවිර කලසෙ තියෙන්නෙ ඉතැලෝ කැල්විනෝ සමග සංවාදය ක්.... ලේඛකයින්ගෙ ජීවිතත් හරියට ප්‍රබන්ධ වගේ මායාමය සුන්දරත්වයකින් පිරිල කියල හිතෙනවා. යථාර්ථය හරිම කටුකයි බොහෝ ලේඛක ජීවිතවල. ඒත් එයාල වචනවලින් ඒ කටුක යථාර්ථයට මායාමය ලස්සනක් තවරනවා. හදවතින් සියදහස්වර හඬන ඔවුන්ම ජීවිතයට ආදරය කරන්න අපට කියල දෙනවා.

ආනන්ද අමරිසිරි පරිවර්තනය කළ ‘මාර්කේස් සංකථන‘ කියවන්න ගත්තා. ඒක හරිම ආකර්ෂණීය පොතක්. මාර්කේස්ගෙ ළමා විය කියවද්දි දැනෙනවා ඒ ලේඛන කලාවට ඉන්ද්‍රජාලික යථාර්ථවාදය ආව එක පුදුමයක් නෙවෙයි කියල.

මළවුන්ගේ ලොව හා සබැඳි මගේ සමහර අත්දැකීම් ලියවුණොත් ඒවත් අද්භූතවාදය, ඉන්ද්‍රජාලික යථාර්ථවාදය කියල නම් කරන්න හැකි වේවිද මන්ද? කෙටිකතා කීපයකටම තොරතුරු ඒ මතක ගබඩාවෙ තියෙනව නේද කියල මතක් වුනේ මාකේස්ගෙ අත්තම්ම ගැන කියවමින් ඉන්න අතර.

................

‘ළා දලු බෝපත්‘ කියවා අවසන්. අතීත මතක මතුවෙලා සමහර තැන්වල ඇස්වල කඳුළු පිරුණ බව ඇත්ත.  මගේ ජීවිතයේ දෙබස් ඒ විදියටම තියෙන තැනුත් හමුවුණා.

ඒත් ඒක හරිම අසාර්ථක නවකතාවක් කියලයි මට හිතෙන්නෙ. ඇය වගේ පරිණත ලේඛිකාවකගෙන් බලාපොරොත්තු වෙන්න බැරි තරමට... තමන් විසින් තමන්වම තමන්ගේම පොතකින් මේ තරම් ඉහළට ඔසවා තැබීම සාධාරණ නැහැ. මගේ ආදරණීය ගිනිපුපුර කියන කතාව ඇත්ත. පළවෙනි වාක්‍යෙයන්ම එපා වෙන විදියෙ කතා... අනවශ්‍ය දෙබස්වලින් පිරිලා.


‘‘ඔයා ඉතින් ඕන පොතක් කියවන නිසා හොඳයි.. ගිනිපුපුර හිනැහුණා. ඇත්ත මම ඉතින් සුජීවගෙ පොතක් වුණත් අහුවුණොත් අතාරින්නෙ නැහැ. 

Sunday, October 26, 2014

වාවනු බැරි තැන රහසේ හැඬුවා


සෝමා ජයකොඩිගෙ නවකතාවලට මං ආස වුණේ ‘‘මදාරා නිසා. ඉන්පස්සෙ එයාගෙ හැම පොතක්ම වගේ මම කියවල තියෙනවා. මදාරා, නොකියමි සිතුවත්, වඩමාරච්චි ගින්න, කර්නල්ගේ බිරින්දෑවරු 1 2, බලවත්තු සහ බවලත්තු, වෘකයෝ සහ ළමයි, මිහිකතගේ දියණිය 1 2, නික්ම ගිය මිනිසා, අප්පච්චි මගේ පොත් එකතුවේ තියෙනවා. මීට අමතරව එයාගෙ කැන්ගරුවෝ, රන්ගිර, රාජා භවතු ධම්මිකෝ, මා ප්‍රිය සොඳුර 1 මම කියවල තියෙනවා.

ඒත් තාමත් මම මදාරා දෙවෙනි තුන්වෙනි කොටස් කියවල නැහැ. කියවන්න හිතක් නැහැ. ඒ කොටස්වල තියෙන්නෙ රන්දුණු වෙනස් වෙලා, මදාරට ආයෙම වතාවක් ආදරය දුකක් වෙන කතාවක් කියල කණින් කොණින් අහල තියෙන නිසා මට කියවන්න හිතුණෙ නැහැ. බැඳීම් කියන්නෙම අප්‍රමාණ දුකක් බව දන්නව වුණත්, කතාවක වුණත් ආදරවන්ත මිනිස්සු දුරස් වෙන එක මට දරාගන්න අමාරුයි. ඒ නිසා තාමත් මං මදාරා පළමු කොටසින් සෑහිලා ඉන්නවා. මහ මෝඩ විදියට යථාර්ථයට පිටුපාල මගේම හීනවලින් මං සැනහිලා ඉන්නෙත් ඒ වගේම වෙන්න ඇති.....   

ඇගේ නවකතා බැලූ බැල්මට සරලයි. ඒ සරලබව එක්කම පොදු සමාජ යහපත වෙනුවෙන් පවතින පාලන ක්‍රමය විග්‍රහ වෙන දේශපාලන දැක්මකුත්, මානව ප්‍රේමයකුත් ඇගේ හැම කතාවකම වගේ තියෙනවා. ඇය ලේඛන කලාව වෙනුවෙන් ජීවිතයම කැප කළ බවයි පේන්නෙ.    

සෝමා ජයකොඩි හිතට ළං වෙන්න බලපෑව තවත් කාරණයක් තියෙනවා. ඒ එයත් එක් පැත්තකින් ප්‍රතික්ෂේප වීමේ වේදනාවත්, තවත් පැත්තකින් අපූර්ව ප්‍රේමයකුත් හිතේ දරාගෙන හුදකලාව ජීවත් වෙන්නට තීරණය කළ ගැහැණියක් වීම...... හුදකලාවේ සාංකාව ලේඛණ කලාවෙන් පුරවා ගන්නා සරල සුන්දර ගැහැණියක්.. මට ඇයව පෙනෙන්නෙ එහෙමයි. ජීවිතය සම්බන්ධයෙන් මං ඉතිරි කරගත් එකම හීනයත් එයයි.

‘‘ප්‍රේමය විවාහයෙන් කෙළවර විය යුතුයි කියල නියමයක් නැහැ. එහෙම කියන ඇය ම මට තරවටු කරනවා. ‘‘තනිකඩ ජීවිතේ තියෙන අමාරුකම් දැන්ම තේරෙන්නෙ නැහැ ඔයාට. මෝඩ වෙන්න එපා ළමයා හොඳ කෙනෙක් බලල විවාහ වෙන්න..



ඇගේ අලුත් නවකතාව “ළා දලු බෝපත්”.. නම දුටු සැණින් මතක් වුණේ එනමින් ගැයෙන ගීතය.. දිවුල්ගනේගෙ...

‘‘ළා දලු බෝපත් සෙමෙන් සැලෙන සේ
යශෝධරා දේවී...........
වාවනු බැරි තැන රහසේ හැඬුවා
පෙර සංසාරේ ඇසුර මතක් වී...”



නවකතාවක් විදියට නම් පොත අල්ලන්නෙ නැහැ හිතට... තනිකඩ ජීවිතය ප්‍රශ්න කරන මිනිසුන් හමුවේ මේ කතාව ලියා තබන්නට ඇයට සිතෙන්න ඇති. නවකතාවක් විදියට එතරම්ම සාර්ථක නොවෙන්නෙ ඒ නිසාමද මන්දා. ලිවීම ආත්මීය නිදහස්වීමක් වුණාට කමක් නැහැ. ඒත් ප්‍රශ්නකාරී විමසුම් ඇස්වලට පිළිතුරක් විදියට ලියන එක හොඳ දෙයක් නෙවෙයි.


කවදාහරි දවසක මම මගේ ප්‍රේම කතාව ලිව්වොත් සුනේත්‍ර ගෙ ප්‍රේම පුරාණය වගෙත් තියේවි ටිකක්... සෝමගෙ ළා දලු බෝපත් වගෙත් තියේවි තව ටිකක්.... ඒ කොතනැකවත් නැති වෙනස්ම කතාවකුත් තියේවි.. ඒ කතාව විසින් හදවතේ ඇති කළ ගැඹුරු තුවාලය සුවපත් කර ගැනීම ලේසි නැහැ... 


මෙවල් පිය අනුස්මරණය.......



ඊයෙ මෙවල් පිය අනුස්මරණ උත්සවය පැවැත්වුණා ළක්‍රිවී ජාතික කාර්යාලයෙදි... 1954 අවුරුද්දෙ මුලින්ම ලංකාවෙ ළමා ක්‍රිස්තු වීරයෝ කියල පටන් ගත්ත අපේ ළමා එකමුතුවෙ නිර්මාතෘ ප්‍රංශ ජාතික ෆීලික්ස් මෙවල් පියතුමා ස්වර්ගස්ත වුණේ 1984 ඔක්තෝම්බර් 28... මේ තිස්වෙනි අනුස්මරණය. 

මුලින්ම කතෝලික ළමයි වෙනුවෙන් ළමා සමිති පටන්ගත්තත්  පියතුමා මීරිගම පල්ලියෙ සේවය කරන කාලෙ ගොඩක් අන්‍යාගමික දරුවන් ඇවිත් පල්ලිය වත්තෙන් ඈත ඉඳන් මේ ළමා සමිතිය දිහා බලන් උන්නලු. ඉතින් ෆාදට හිතුණලු හැම දරුවෙක්ම දේව දරුවෙක්, මේක කතෝලික ළමයින්ට විතරක් සීමා විය යුතු නැහැ කියල. ඒ අනුව තමයි ළමා ක්‍රිස්තු වීරයෝ... ළමා ක්‍රියාකාරී වීරයෝ විදියට වෙනස් වෙලා තියෙන්නෙ... 

දැන් කිසිම භේදයක් නැතිව ඕනැම ජාතියක, ආගමක දරුවෙකුට ළක්‍රිවීය විවෘතයි. ඒත් භේදබින්න වෙන්නම බලන් ඉන්න වැඩිහිටි ලෝකය දරුවන්ට ඒ අවස්ථාව ලබා දෙන්න හරිම අකමැතියි.

මොන තරම් යහපත් චේතනා පෙරදැරිව වැඩ කළත් මේ සමාජය පුරුදු වෙලා තියෙන්නෙම අඳුරු කණ්ණාඩිවලින් ලෝකය දකින්න. ඉතින් අපි පතන නව ලෝකය දුර ඈත හීනයක් වෙනවා දවසින් දවසම..

මෙවල් පියතුමා නොවන්න මගේ ජීවිතේ වුණත් මේ තරම් සුන්දර එකක් නොවන්න තිබුණා... ඇත්තටම අපි මෙවල් පියතුමාට ණයගැතියි... 

උත්සවයේ වි‍ශේෂත්වයක් නොතිබුණත් අපේ පරණ ළක්‍රිවි සහෝදර පිරිසෙන් අල්පයක් හරි හමුවෙන්න ලැබුණු අවස්ථාව හරි වටිනවා කියල හිතෙනවා... 

ලස්සනම කතාව කළේ ප්‍රභාත් අයියා..

''මම ඉපදුණේ මහවත්තෙ.. ජීවත් වුණේ කූඹි කැලේ.. බැන්දෙ හැටේවත්තෙන්‍.. දැන් ඉන්නෙ වනාතෙ... මේ විදියට දෙපයින් හිටගෙන ඔයාල ඉස්සරහ කතා කරන්න මට ශක්තිය දුන්නෙ ළ.ක්‍රි.වී. ය...

මම ළක්‍රිවී සමිතියට බැඳුණෙ වයස හයේ හතේදි... ඕනැම කොල්ලෙක් වැරැද්දට පෙළඹෙන යොවුන් වයසෙ මම ළක්‍රිවී. අනුශාසක කෙනෙක්... කොලු නඩේ අතින් අතට ගිහිල්ල සිගරට් කොටේ මගෙ අතට ලැබෙද්දි මට හිතෙනවා සමිතියෙ ළමයෙක් දැක්කොත්, ළමයෙක්ගෙ අම්මෙක් තාත්තෙක් දැක්කොත් කියල.. ඉතින් මම ඒ සිගරට් එක උරන්නෙ නෑ පාස් කරනවා... ඒ විදියට ගොඩක් දේවලින් මාව ආරක්ෂා වුණා ඒ ළක්‍රිවිය නිසා....''

ළක්‍රිවීත් එක්ක කාලයක් උන්නු අපි කාට වුණත් කියන්න තියෙන්නෙ ඒ වගේ කතාවක් තමයි... 



Friday, October 24, 2014

එකම පහන් එළිය



ඊයෙ දවසම උන්නෙ කෞන්පූර්වල අලුත් ම මිනිහෙක් එක්ක. ඊයෙ දුම්රිය ගමනෙදිත්, නවාතැනේ හුදකලා කුටියෙදිත් තනි මැකුවෙ ඒ අලුත් ම මිනිහා... මං රමා උනා නම් දෙකක් නෑ තහංචි බැමි බිඳගෙන ගිහින් රමේෂ්ට උදව් කරනවා. ඒත් ඉතින් ඒ ලංකාවවත්, මගේ ගමවත් නෙවෙයිනෙ. ඉන්දියාවෙ අර වගේ කුලගෝත්‍ර බැමිවලින් බැඳුණු දුප්පත් ගමක කෙල්ලෙකුට හුස්මක් ගන්නවත් ඉඩක් නැති එක පුදුමෙකුත් නෙවෙයි.. පව් රමා.... අහිංසක රමේෂ්... තරුරසී යෙ මං වැඩි විස්තර ලියල ඇති...

ඒ අලුත් ම මිනිහා හමුවුණේ චැටර්ජිගෙ පල්ලි සමාජ් පොතේ...

ඉතියෝපියාව, පාකිස්තානය, සැම්බියාව, ටොංගා, ලාඕස්, ඉන්දියාව, සොලමන් දූපත් කියන රටවලින් ආව කාන්තාවන් දහයක් එක්ක පැවති පුහුණු වැඩමුළුවකදි මට දැණුනා ලංකාව ස්ත්‍රීයට සලකන විදිය නරකම නෑ කියල. අනිත් රටවලට සාපේක්ෂව ලාංකීය සමාජයේ ස්ත්‍රීයට ලැබිල තියෙන තැන ගැන සතුටු වෙන්න පුළුවනි..

අද වාසනාවන්ත දවසක්.. මොකද රාගමදි වාඩිවෙන්න අසුනක් ලැබුණ නිසා කෝච්චියෙ. උදේට අහම්බෙන් තමයි එහෙම අවස්ථාවක් ලැබෙන්නෙ. තෙල්මා අතට ගන්න ලැබුණෙ එයින්. ඊයෙ ඉන්දියාවෙ උන්නු මම අද නෝර්වේ යන්නයි කල්පනාව. පොතේ පසුකවරයේ මේ අදහස හිතට වැදුණා මුලින්ම.

‘‘ආදරය නිසාම ජීවත් වන්නට වටනේද? ඒ නිසාම මිය යන්නට වටනේද? ජීවත් වන කෙටි කාලය තුළ එහෙ මෙහෙ දුවන ඡායාවන් මැද අපට ග්‍රහණය කර ගත හැකි සිත් පිනවන දෙය ආදරයම ද? අඳුරේ පොර බදන අපේ ජීවිත තුළ අප කරන කියන දෑ අතර පවතින එකම පහන් එළිය එයමද?


ඇත්තටම ඒ ආදරය තමයි. එය එක පුද්ගලයෙකුට පමණක් සීමා වූ ආදරයක් නෙවෙයි. තමන්ට, සමාජයට, පරිසරයට... සමස්ත ජීවිතයටම කෙනෙකුගේ හදවතේ ගැඹුරින්ම උපදින ආදරය.. ඒ තමයි අඳුරේ පොර බදින අපිට පාර කියන එකම පහන් එළිය.... ඒකටම තමයි මනුස්සකම කියල කියන්නෙත්... 



Wednesday, October 22, 2014

අහෝ මුරකමි...



ජපන් ලේඛක හරුකි මුරකමිගෙ අළුත්ම නවකතාව මෑතක එළිදක්වල තියෙනවා. ඔහු සමඟ කළ සංවාදයක් පසුගිය රිවිර කලසේ පළ වෙලා තිබුණා. 


ගාඩියන් පොත් සමාජය හා පැවති සාකච්ඡාවෙදි ජපාන ලේඛක හරුකි මුරකමි වෙත මේ වගේ ප්‍රශ්නයක් යොමු වෙනවා....

ලේඛකයකුට හොඳ දේවල් මොනවද?

එයා දෙන්නෙ මෙන්නෙ මෙහෙම උත්තරයක්.

‘‘ උදේ හවා වැඩට යාම ඒම හොඳ නෑ. රැස්වීම් හොඳ නෑ. ප්‍රධානියෙක් හොඳ නෑ.

අනේ දෙයියනේ කොයි තරම් ඇත්තක්ද? ලියන්න උවමනා කරන මානසික නිදහස තියෙනව කියන්නෙ ලේඛකයෙකුට ඒ තරම් ආශිර්වාදයක් තවත් නෑ. ඒත් ලංකාවෙ නම් එහෙම තත්වයක් ඇති වෙනව කියන එක හීනයක් විතරයි. මට අනන්තවත් හිතෙනවා මේ රස්සාව පැත්තකට දාල නිදහසේ ලියන්න. ඒත් ඊළඟට හිතට එන හැඟීම මාසෙ අන්තිමට පඩිය ලැබෙන නිසා නේද මේ තරම්වත් ආර්ථිකය බරක් කර නොගෙන ජීවත් වෙන්නෙ කියන එක.

මුරකමි කතාවක් ලියද්දි උදෙන්ම නැගිටල ග්‍රැමෆෝන් තැටියක් වාදනය කරනවලු. විණාඩි 10 ක් 15 ක් යද්දි එයාට ඒ සංගීතය ඇහෙන්නැතිව යනවලු.

කොයි තරම් නිදහස්ද? ඉරිසියත් හිතෙනවා. අපේ ජීවිත ඊට වඩා වෙනස්නෙ. හරිම යාන්ත්‍රිකයි. පාන්දර හිත ඇහැරිලා හිත හිත ඉන්න වෙලාවට හිතට එන අදහස් කොයි තරම්ද? ඒත් දැන් ඉතින් නැගිටින්න ඕන, උයන්න ඕන, වැඩට යන්න ඕන කියල හිතෙද්දි හිත මැළවිලා යනවා. ඒ සිතුවිලි වැළලිලා යනවා.

සමහර වෙලාවට කෝච්චියෙ එද්දි කවි කතා හිතේ පෙළගැහෙනවා. මතු ලියන බලාපොරොත්තුවෙන්  ඒවා හිතේම පරිස්සම් කරගන්නෙ අමාරුවෙන්. සමහර වෙලාවට අමතක වෙලා. කොයි තරම් මතක් කළත් මතක් වෙන්නෙම නෑ. ඒ වෙලාවට හරි දුක හිතෙනවා.


මේ යාන්ත්‍රික ජීවිතෙන් ගැළවිලා නිදහස් වීම තමයි මට තියෙන ලොකුම සිහිනය... එතනට යන එකනම් ලේසි නැහැ.