Tuesday, November 11, 2014

ඈ යන්න ගියා මැකිලා


වීනු නික්ම ගිහින් මාස තුනයි. හෙට රාත්‍රියෙ බණ. අනිද්දා දානෙ.

හාමුදුරුවරුන්ට පූජා කරන පිරිකරවල අලවන්න අදහසක් ලියල දෙන්න කියල ලක්ෂ්මි ඉල්ලීමක් කරල දවස් කීපයක්. ඒත් මට හිත හදාගන්න බැරි වුණා. වීනුගෙ පළමුවෙනි උපන්දිනයට ඈ වෙනුවෙන් ලියූ පදපේළි මතක් වෙද්දි හිතට දුකයි.

සුවහසක් සිහින පොදි මැද
සුපිපුණු කිරිකැටි සිහිනය
සිඟිති මල් කැකුලක්ව
මෙලොවට වැඩිය දින
නොකල්හිම ගිළිහී යාද
සන්තානයම ගිනිගත් මොහොතක

අත්තටු බිඳුණු පැතුමට
ජීවන හුස්ම පිඹිමින්
අපමණ සෙනෙහසින්
දිව රෑ නොතකමින්
ඇය මලක් සේ පුබුදු කළ
ද සොයිසා කාන්තා රෝහලේ
නිශානි ලූකස් වෙදැදුරුතුමිය ඇතුළු වෛද්‍යතුමනි,
මෙත් සිතැති හෙදි සොයුරියනි,
කාර්ය මණ්ඩලයේ සියල්ලෙනි,
ඔබේ ළෙංගතුකමට
අපමණ කැපකිරීමට
බැතිමල් පුදන්නට
වදන් සවිමත් වෙද කොයි ලෙස...

වීනු තිලංසා දියණිය සමඟ
ගෙවෙන ජීවිත වන්දනාවේ
සිනාමල් පිපෙන
සැම මොහොතක් පාසාම
පුණ්‍යානුමෝදනා වේවා
ඔබට.. ඔබ සැමට...

එදා අපි කවුරුවත්ම හිතුවෙ නැහැනෙ, දෙවෙනි උපන්දිනය එළඹෙද්දිම ඒ සිනාමල් පරවේවි කියල.  අද ඈ වෙනුවෙන් මම මෙවැනි සටහනක් ලියා යැව්වා.

‘‘සියල්ල අනියත බව, නැසෙන සුළු බව
සිඟිති හසරැල්ලෙන් පහදා දී
ඇය සන්සුන්ව නික්ම ගියාය.
වීනු තිලංසා අප ආදර දියණියට
අමා මහ නිවන් සුව අත්වේවා.

මේ වචන ටික කියවල අපි ආයෙම කඳුළු අළුත් කරගත්තා. සුසුමක් සමඟ නැවතුණු සංවාදයෙන් පස්සෙ ලක්ෂ්මි කෙටි පණිවිඩයක් එවා තිබුණා. ආයෙම ඇස් තෙත් වුණා.

‘‘මේ වගේ නිසඳැස් දෙකක් ඔයා කාටවත්ම හදල නැතුව ඇති. ස්තුතියි තරූ

...........

‘‘රීතියක් ලෙස අහේතුකව වේදනා විඳින්නට මම නොකැමැත්තෙමි. වේදනාවක් යනු නිර්මාණාත්මක විය යුත්තකි. එය යහපත් සහ අදරැති යමකට උපත දිය යුතුය.

ජන පුරිසෙක් -  129 පිටුව

හරි ලස්සන අදහසක්. හිත බැඳුණා. මිහිරි වේදනාවන් කියන්නෙ මෙවැනි නිර්මාණාත්මක දුකකට වෙන්න ඕන. මගේ වේදනාවත් නිර්මාණාත්මකයි, සමහර වෙලාවට ප්‍රඥාවන්ත විදියට.. සමහර වෙලාවට මහ මෝඩ සහ බොළඳ විදියට. ප්‍රඥාවන්තව වේදනා විඳින හැමවිටම එය යහපත් අදරැති දෙයකට උපත දෙනවා. ඒක ඇත්ත. ඒ හැඟීමත් හරිම සුවදායකයි.

ජනපුරිසෙක් Chinua Achebe - The Man of the People කෘතියේ පරිවර්තනය. සමන් නන්දලාල් පරිවර්තනය කරල තියෙන්නෙ. ලාංකීය දේශපාලනයට, සමාජයට කැටපතක් අල්ලනවා වගේ දැනෙනවා.

ජනාධිපතිවරණ උණුහුමත් එක්ක මෙවැනි පොතක් කියවන එකත් වටිනවා. රාජපක්ෂ රෙජීමය පරද්දන එක තමයි මේ මොහොතෙ අත්‍යවශ්‍යම දේ. ඒත් එතනින් පස්සෙ කාටද රට භාර දෙන්නෙ කියන එක ප්‍රශ්නයක්. ඉගුරු දීලා මිරිස් අරන් විඳවන අපි ඊළගට ගන්නෙ කොච්චිද? මේ මොහොතෙ තම තමන්ගෙ බලය රැක ගැනීම ගැන නෙවෙයි පොදු සමාජ යහපත ගැන හිතල සියලුම විපක්ෂ බලවේග එකතු විය යුතුයි කියන එකයි මගේ හැඟීම. ඒත් ලංකාවෙ සිංහලුන්ගෙ ඉතිහාසය කියන්නෙම පාවා දීමේ සහ දැන දැනම කැමැත්තෙන්ම විනාශය වැළඳ ගැනීමේ ඉතිහාසයක්. ආත්මාර්ථයම මිස පරාර්ථය ලාංකීය දේශපාලනයෙ ගෑවිලාවත් නැහැ.

ඒ ඉතිහාසයම නැවත නැවත ක්‍රියාත්මක නොවේවා. 

No comments:

Post a Comment