Friday, August 1, 2014

සුන්දර සතිඅන්තේ ( ජූලි 26-27)




By Catherine Jeltes
 
26 සෙනසුරාදා

උදෙන්ම මහජන පුස්තකාලයේ පොත් ප්‍රදර්ශනයට ගියා. පොත් ගන්නෙ නෑමයි කියල හිතන් උන්නෙ. ඒත් පොත් දැක්කම ලෝබයි. ඉතින් පොකැට්ටුවට පාඩුයි. කමක් නෑ. ඒත් පොත් නෙ. පොත් කියන්නෙ ආයෝජනයක්. හැමදාමත් වගේ එහෙම හිතල හිත හදාගත්තා. පොත් අතර රස්තියාදු වෙලා ජාතික පුස්තකාලයට ගියා අධ්‍යයන වැඩකට. පරණ පත්තර පිටු අතර සැරිසරන එකත් අපූරු අත්දැකීමක් තමයි. එක දෙයක් පැහැදිලි වෙනවා. ඔලුගෙඩි වෙනස් වුණාට මොකද ඉතිහාසයම තමයි ආපහු කැරකෙන්නෙ.

හවස කොන්වන්ට් ඇවිත් ආයෙම සිස්ට එක්ක විහාරමහාදේවියෙ ඇවිදින්න ගියා. සිස්ට පව්. තියෙන අසනීප මදිවට සීනි වැඩිවෙලා. එයා තරම් අසනීප නිසා දුක් විඳින සිස්ට කෙනෙක් මං තවත් දැකල නැහැ. ඒත් ලස්සනට හිනාවෙලා ඉන්නවා. අපි ඇවිදගෙනම ලයනල් වෙන්ට් එකට ගියා. තේනුවරගෙ මූර්ති ප්‍රදර්ශනය බැලුවා. මම එහෙමම උන්නා Walking Path බලන්න. ඒත් සිස්ට ට නවතින්න විදියක් තිබුණෙ නැහැ. එයා හරිම ආසාවෙන් උන්නෙ. ඒත් අපට වගේ නෙවෙයිනෙ. දෙයක් කරන්න කළින් ගොඩක් හිතන්න ඕන. හොඳ වෙලාවට සිස්ට කෙනෙක් නොවුණෙ කියල මට හිතුණා. පුංචි කාලෙ මටත් එහෙම හීනයක් තිබුණනෙ.

Walking Parth ගැන මට දැණුනු දේ තරුරසියෙ ලියා පළ කළා.

27 ඉරිදා

උදේ වරුව මැසනද් හවුස් එකේ තරුණ කණ්ඩායමක් එක්ක ගතවුණේ. නිර්මල මරිය නිකාය එක්ක මං කළ වැඩ සහ ඒ හරහා ලැබූ ජීවිත අත්දැකීම ගැනයි කතා කරන්න තිබුණෙ. ලේසි නැහැනෙ. අවුරුදු 17 ක් විතරම විවිධ සේවාවන් එක්ක වැඩ කරල තියෙනවනෙ... දවසක් කතා කරන්න හැකි. ඒත් පැය බාගයකින් කතාව නිම කළා.
හවස මීගමුවෙ කෙටි චිත්‍රපට උළෙල. භුපති නලින් හොඳ කතාවක් කළා. මං භුපති දැක්කමයි. කතාවක් ඇහුවමයි.

When Tarkovsky Meet Godard– විරාජ් ලියනආරච්චි
Beyond the Reality–
සුජිත් රාජපක්ෂ
May 18 -
සුපුන් විශ්වබුද්ධි

චිත්‍රපටි තුනත් හොඳයි. ඒ අතර මැයි 18 ට මං වඩාත් කැමතියි. චිත්‍රපට ප්‍රදර්ශනයෙන් පසුව සුපුන්, විරාජ්, භුපති සංවාදය මෙහෙයවූවත් මට ඉක්මණින්ම යන්න සිද්ධ වුණා. මගේ අදහස කෙටියෙන් පළ කරල මං යන්න පිටත් වෙද්දි හතට කිට්ටුයි. මහගෙදරත් බැහැ දැකල, ලොකු නංගිගෙන් රෑ කෑමත් කාල මං මගේ දිව්‍ය විමානයට ගොඩවදිද්දි රෑ නවයයි.

කොයි තරම් සැනසුමක් ද හිතට............................ අවිවේකී වුණත් හරි අපූරු සතිඅන්තයක්........

No comments:

Post a Comment