Sunday, October 26, 2014

වාවනු බැරි තැන රහසේ හැඬුවා


සෝමා ජයකොඩිගෙ නවකතාවලට මං ආස වුණේ ‘‘මදාරා” නිසා. ඉන්පස්සෙ එයාගෙ හැම පොතක්ම වගේ මම කියවල තියෙනවා. මදාරා, නොකියමි සිතුවත්, වඩමාරච්චි ගින්න, කර්නල්ගේ බිරින්දෑවරු 1 2, බලවත්තු සහ බවලත්තු, වෘකයෝ සහ ළමයි, මිහිකතගේ දියණිය 1 2, නික්ම ගිය මිනිසා, අප්පච්චි මගේ පොත් එකතුවේ තියෙනවා. මීට අමතරව එයාගෙ කැන්ගරුවෝ, රන්ගිර, රාජා භවතු ධම්මිකෝ, මා ප්‍රිය සොඳුර 1 මම කියවල තියෙනවා.

ඒත් තාමත් මම මදාරා දෙවෙනි තුන්වෙනි කොටස් කියවල නැහැ. කියවන්න හිතක් නැහැ. ඒ කොටස්වල තියෙන්නෙ රන්දුණු වෙනස් වෙලා, මදාරට ආයෙම වතාවක් ආදරය දුකක් වෙන කතාවක් කියල කණින් කොණින් අහල තියෙන නිසා මට කියවන්න හිතුණෙ නැහැ. බැඳීම් කියන්නෙම අප්‍රමාණ දුකක් බව දන්නව වුණත්, කතාවක වුණත් ආදරවන්ත මිනිස්සු දුරස් වෙන එක මට දරාගන්න අමාරුයි. ඒ නිසා තාමත් මං මදාරා පළමු කොටසින් සෑහිලා ඉන්නවා. මහ මෝඩ විදියට යථාර්ථයට පිටුපාල මගේම හීනවලින් මං සැනහිලා ඉන්නෙත් ඒ වගේම වෙන්න ඇති.....   

ඇගේ නවකතා බැලූ බැල්මට සරලයි. ඒ සරලබව එක්කම පොදු සමාජ යහපත වෙනුවෙන් පවතින පාලන ක්‍රමය විග්‍රහ වෙන දේශපාලන දැක්මකුත්, මානව ප්‍රේමයකුත් ඇගේ හැම කතාවකම වගේ තියෙනවා. ඇය ලේඛන කලාව වෙනුවෙන් ජීවිතයම කැප කළ බවයි පේන්නෙ.    

සෝමා ජයකොඩි හිතට ළං වෙන්න බලපෑව තවත් කාරණයක් තියෙනවා. ඒ එයත් එක් පැත්තකින් ප්‍රතික්ෂේප වීමේ වේදනාවත්, තවත් පැත්තකින් අපූර්ව ප්‍රේමයකුත් හිතේ දරාගෙන හුදකලාව ජීවත් වෙන්නට තීරණය කළ ගැහැණියක් වීම...... හුදකලාවේ සාංකාව ලේඛණ කලාවෙන් පුරවා ගන්නා සරල සුන්දර ගැහැණියක්.. මට ඇයව පෙනෙන්නෙ එහෙමයි. ජීවිතය සම්බන්ධයෙන් මං ඉතිරි කරගත් එකම හීනයත් එයයි.

‘‘ප්‍රේමය විවාහයෙන් කෙළවර විය යුතුයි කියල නියමයක් නැහැ.” එහෙම කියන ඇය ම මට තරවටු කරනවා. ‘‘තනිකඩ ජීවිතේ තියෙන අමාරුකම් දැන්ම තේරෙන්නෙ නැහැ ඔයාට. මෝඩ වෙන්න එපා ළමයා හොඳ කෙනෙක් බලල විවාහ වෙන්න..”



ඇගේ අලුත් නවකතාව “ළා දලු බෝපත්”.. නම දුටු සැණින් මතක් වුණේ එනමින් ගැයෙන ගීතය.. දිවුල්ගනේගෙ...

‘‘ළා දලු බෝපත් සෙමෙන් සැලෙන සේ
යශෝධරා දේවී...........
වාවනු බැරි තැන රහසේ හැඬුවා
පෙර සංසාරේ ඇසුර මතක් වී...”



නවකතාවක් විදියට නම් පොත අල්ලන්නෙ නැහැ හිතට... තනිකඩ ජීවිතය ප්‍රශ්න කරන මිනිසුන් හමුවේ මේ කතාව ලියා තබන්නට ඇයට සිතෙන්න ඇති. නවකතාවක් විදියට එතරම්ම සාර්ථක නොවෙන්නෙ ඒ නිසාමද මන්දා. ලිවීම ආත්මීය නිදහස්වීමක් වුණාට කමක් නැහැ. ඒත් ප්‍රශ්නකාරී විමසුම් ඇස්වලට පිළිතුරක් විදියට ලියන එක හොඳ දෙයක් නෙවෙයි.


කවදාහරි දවසක මම මගේ ප්‍රේම කතාව ලිව්වොත් සුනේත්‍ර ගෙ ප්‍රේම පුරාණය වගෙත් තියේවි ටිකක්... සෝමගෙ ළා දලු බෝපත් වගෙත් තියේවි තව ටිකක්.... ඒ කොතනැකවත් නැති වෙනස්ම කතාවකුත් තියේවි.. ඒ කතාව විසින් හදවතේ ඇති කළ ගැඹුරු තුවාලය සුවපත් කර ගැනීම ලේසි නැහැ... 


මෙවල් පිය අනුස්මරණය.......



ඊයෙ මෙවල් පිය අනුස්මරණ උත්සවය පැවැත්වුණා ළක්‍රිවී ජාතික කාර්යාලයෙදි... 1954 අවුරුද්දෙ මුලින්ම ලංකාවෙ ළමා ක්‍රිස්තු වීරයෝ කියල පටන් ගත්ත අපේ ළමා එකමුතුවෙ නිර්මාතෘ ප්‍රංශ ජාතික ෆීලික්ස් මෙවල් පියතුමා ස්වර්ගස්ත වුණේ 1984 ඔක්තෝම්බර් 28... මේ තිස්වෙනි අනුස්මරණය. 

මුලින්ම කතෝලික ළමයි වෙනුවෙන් ළමා සමිති පටන්ගත්තත්  පියතුමා මීරිගම පල්ලියෙ සේවය කරන කාලෙ ගොඩක් අන්‍යාගමික දරුවන් ඇවිත් පල්ලිය වත්තෙන් ඈත ඉඳන් මේ ළමා සමිතිය දිහා බලන් උන්නලු. ඉතින් ෆාදට හිතුණලු හැම දරුවෙක්ම දේව දරුවෙක්, මේක කතෝලික ළමයින්ට විතරක් සීමා විය යුතු නැහැ කියල. ඒ අනුව තමයි ළමා ක්‍රිස්තු වීරයෝ... ළමා ක්‍රියාකාරී වීරයෝ විදියට වෙනස් වෙලා තියෙන්නෙ... 

දැන් කිසිම භේදයක් නැතිව ඕනැම ජාතියක, ආගමක දරුවෙකුට ළක්‍රිවීය විවෘතයි. ඒත් භේදබින්න වෙන්නම බලන් ඉන්න වැඩිහිටි ලෝකය දරුවන්ට ඒ අවස්ථාව ලබා දෙන්න හරිම අකමැතියි.

මොන තරම් යහපත් චේතනා පෙරදැරිව වැඩ කළත් මේ සමාජය පුරුදු වෙලා තියෙන්නෙම අඳුරු කණ්ණාඩිවලින් ලෝකය දකින්න. ඉතින් අපි පතන නව ලෝකය දුර ඈත හීනයක් වෙනවා දවසින් දවසම..

මෙවල් පියතුමා නොවන්න මගේ ජීවිතේ වුණත් මේ තරම් සුන්දර එකක් නොවන්න තිබුණා... ඇත්තටම අපි මෙවල් පියතුමාට ණයගැතියි... 

උත්සවයේ වි‍ශේෂත්වයක් නොතිබුණත් අපේ පරණ ළක්‍රිවි සහෝදර පිරිසෙන් අල්පයක් හරි හමුවෙන්න ලැබුණු අවස්ථාව හරි වටිනවා කියල හිතෙනවා... 

ලස්සනම කතාව කළේ ප්‍රභාත් අයියා..

''මම ඉපදුණේ මහවත්තෙ.. ජීවත් වුණේ කූඹි කැලේ.. බැන්දෙ හැටේවත්තෙන්‍.. දැන් ඉන්නෙ වනාතෙ... මේ විදියට දෙපයින් හිටගෙන ඔයාල ඉස්සරහ කතා කරන්න මට ශක්තිය දුන්නෙ ළ.ක්‍රි.වී. ය...

මම ළක්‍රිවී සමිතියට බැඳුණෙ වයස හයේ හතේදි... ඕනැම කොල්ලෙක් වැරැද්දට පෙළඹෙන යොවුන් වයසෙ මම ළක්‍රිවී. අනුශාසක කෙනෙක්... කොලු නඩේ අතින් අතට ගිහිල්ල සිගරට් කොටේ මගෙ අතට ලැබෙද්දි මට හිතෙනවා සමිතියෙ ළමයෙක් දැක්කොත්, ළමයෙක්ගෙ අම්මෙක් තාත්තෙක් දැක්කොත් කියල.. ඉතින් මම ඒ සිගරට් එක උරන්නෙ නෑ පාස් කරනවා... ඒ විදියට ගොඩක් දේවලින් මාව ආරක්ෂා වුණා ඒ ළක්‍රිවිය නිසා....''

ළක්‍රිවීත් එක්ක කාලයක් උන්නු අපි කාට වුණත් කියන්න තියෙන්නෙ ඒ වගේ කතාවක් තමයි... 



Friday, October 24, 2014

එකම පහන් එළිය



ඊයෙ දවසම උන්නෙ කෞන්පූර්වල අලුත් ම මිනිහෙක් එක්ක. ඊයෙ දුම්රිය ගමනෙදිත්, නවාතැනේ හුදකලා කුටියෙදිත් තනි මැකුවෙ ඒ අලුත් ම මිනිහා... මං රමා උනා නම් දෙකක් නෑ තහංචි බැමි බිඳගෙන ගිහින් රමේෂ්ට උදව් කරනවා. ඒත් ඉතින් ඒ ලංකාවවත්, මගේ ගමවත් නෙවෙයිනෙ. ඉන්දියාවෙ අර වගේ කුලගෝත්‍ර බැමිවලින් බැඳුණු දුප්පත් ගමක කෙල්ලෙකුට හුස්මක් ගන්නවත් ඉඩක් නැති එක පුදුමෙකුත් නෙවෙයි.. පව් රමා.... අහිංසක රමේෂ්... තරුරසී යෙ මං වැඩි විස්තර ලියල ඇති...

ඒ අලුත් ම මිනිහා හමුවුණේ චැටර්ජිගෙ පල්ලි සමාජ් පොතේ...

ඉතියෝපියාව, පාකිස්තානය, සැම්බියාව, ටොංගා, ලාඕස්, ඉන්දියාව, සොලමන් දූපත් කියන රටවලින් ආව කාන්තාවන් දහයක් එක්ක පැවති පුහුණු වැඩමුළුවකදි මට දැණුනා ලංකාව ස්ත්‍රීයට සලකන විදිය නරකම නෑ කියල. අනිත් රටවලට සාපේක්ෂව ලාංකීය සමාජයේ ස්ත්‍රීයට ලැබිල තියෙන තැන ගැන සතුටු වෙන්න පුළුවනි..

අද වාසනාවන්ත දවසක්.. මොකද රාගමදි වාඩිවෙන්න අසුනක් ලැබුණ නිසා කෝච්චියෙ. උදේට අහම්බෙන් තමයි එහෙම අවස්ථාවක් ලැබෙන්නෙ. තෙල්මා අතට ගන්න ලැබුණෙ එයින්. ඊයෙ ඉන්දියාවෙ උන්නු මම අද නෝර්වේ යන්නයි කල්පනාව. පොතේ පසුකවරයේ මේ අදහස හිතට වැදුණා මුලින්ම.

‘‘ආදරය නිසාම ජීවත් වන්නට වටනේද? ඒ නිසාම මිය යන්නට වටනේද? ජීවත් වන කෙටි කාලය තුළ එහෙ මෙහෙ දුවන ඡායාවන් මැද අපට ග්‍රහණය කර ගත හැකි සිත් පිනවන දෙය ආදරයම ද? අඳුරේ පොර බදන අපේ ජීවිත තුළ අප කරන කියන දෑ අතර පවතින එකම පහන් එළිය එයමද?”


ඇත්තටම ඒ ආදරය තමයි. එය එක පුද්ගලයෙකුට පමණක් සීමා වූ ආදරයක් නෙවෙයි. තමන්ට, සමාජයට, පරිසරයට... සමස්ත ජීවිතයටම කෙනෙකුගේ හදවතේ ගැඹුරින්ම උපදින ආදරය.. ඒ තමයි අඳුරේ පොර බදින අපිට පාර කියන එකම පහන් එළිය.... ඒකටම තමයි මනුස්සකම කියල කියන්නෙත්... 



Wednesday, October 22, 2014

අහෝ මුරකමි...



ජපන් ලේඛක හරුකි මුරකමිගෙ අළුත්ම නවකතාව මෑතක එළිදක්වල තියෙනවා. ඔහු සමඟ කළ සංවාදයක් පසුගිය රිවිර කලසේ පළ වෙලා තිබුණා. 


ගාඩියන් පොත් සමාජය හා පැවති සාකච්ඡාවෙදි ජපාන ලේඛක හරුකි මුරකමි වෙත මේ වගේ ප්‍රශ්නයක් යොමු වෙනවා....

ලේඛකයකුට හොඳ දේවල් මොනවද?

එයා දෙන්නෙ මෙන්නෙ මෙහෙම උත්තරයක්.

‘‘ උදේ හවා වැඩට යාම ඒම හොඳ නෑ. රැස්වීම් හොඳ නෑ. ප්‍රධානියෙක් හොඳ නෑ.”

අනේ දෙයියනේ කොයි තරම් ඇත්තක්ද? ලියන්න උවමනා කරන මානසික නිදහස තියෙනව කියන්නෙ ලේඛකයෙකුට ඒ තරම් ආශිර්වාදයක් තවත් නෑ. ඒත් ලංකාවෙ නම් එහෙම තත්වයක් ඇති වෙනව කියන එක හීනයක් විතරයි. මට අනන්තවත් හිතෙනවා මේ රස්සාව පැත්තකට දාල නිදහසේ ලියන්න. ඒත් ඊළඟට හිතට එන හැඟීම මාසෙ අන්තිමට පඩිය ලැබෙන නිසා නේද මේ තරම්වත් ආර්ථිකය බරක් කර නොගෙන ජීවත් වෙන්නෙ කියන එක.

මුරකමි කතාවක් ලියද්දි උදෙන්ම නැගිටල ග්‍රැමෆෝන් තැටියක් වාදනය කරනවලු. විණාඩි 10 ක් 15 ක් යද්දි එයාට ඒ සංගීතය ඇහෙන්නැතිව යනවලු.

කොයි තරම් නිදහස්ද? ඉරිසියත් හිතෙනවා. අපේ ජීවිත ඊට වඩා වෙනස්නෙ. හරිම යාන්ත්‍රිකයි. පාන්දර හිත ඇහැරිලා හිත හිත ඉන්න වෙලාවට හිතට එන අදහස් කොයි තරම්ද? ඒත් දැන් ඉතින් නැගිටින්න ඕන, උයන්න ඕන, වැඩට යන්න ඕන කියල හිතෙද්දි හිත මැළවිලා යනවා. ඒ සිතුවිලි වැළලිලා යනවා.

සමහර වෙලාවට කෝච්චියෙ එද්දි කවි කතා හිතේ පෙළගැහෙනවා. මතු ලියන බලාපොරොත්තුවෙන්  ඒවා හිතේම පරිස්සම් කරගන්නෙ අමාරුවෙන්. සමහර වෙලාවට අමතක වෙලා. කොයි තරම් මතක් කළත් මතක් වෙන්නෙම නෑ. ඒ වෙලාවට හරි දුක හිතෙනවා.


මේ යාන්ත්‍රික ජීවිතෙන් ගැළවිලා නිදහස් වීම තමයි මට තියෙන ලොකුම සිහිනය... එතනට යන එකනම් ලේසි නැහැ. 

Sunday, September 21, 2014

තනියෙන් ඉන්න අපේ ගෙදර සති අන්තය


ශිහාන් සහ ඇන්ටන් සහෝදරවරුන්ගේ පූජාත්වර පූජාව නිම වෙලා, මරදාන පාතිමා පල්ලියෙන් මං එළියට බැස්සෙ ගමේ එන්න. ෂර්ලි අයිය හමුවුණේ කන්‍යාරාමයට ගිය වෙලාවෙ, සිස්ට ලක්මාලි බලල එන්න... ‘‘කුලියපිටි බස් එකක් ගන්න පුළුවන් තැනකින් මාව දාන්න පුළුවන්ද අයියෙ?” මං ඇහුවෙ ගිනි මද්දහනෙ මරදාන බෝ ගහ ළඟට පයින් එන්න තියෙන කම්මැලිකමට..

‘‘හා යං මං දාන්නං වත්තලින්..” එහෙම කිව්ව ෂර්ලි අයියම ටිකකින් මෙහෙම කියනවා...

‘‘තාම දවල්ට කාලත් නෑනෙ.. යමං අපේ ගෙදර. කාලෙකින් ආවෙත් නෑනෙ. ගිහින් දවල්ට කාල, මම වත්තල හන්දියට දාන්නම් වීල් එකකින්..”

බෑ කියන්න හිතුණෙත් නෑ. ඇත්තටම අවුරුදු ගාණකින් මං එහෙ ගියෙත් නෑ. ‘‘හා යං..” කිව්වෙ ඒ නිසයි.

අක්ක විතරයි ගෙදර උන්නෙ. රෝස මල් වගේ කෙල්ලො තුන්දෙනාම නෑ... ගේ ම පාලුයි.

වත්ත පුරාම පළතුරු ගස්. ඒ ඇරෙන්න තණබිස්ස. වෛවාරණ මල් නැහැ. ඒකෙත් අමුතු ලස්සනක් තියෙනවා. හරි නිස්කලංකයි. මගේ ගෙදර වගේ... මටත් ඕන එහෙම වටපිටාවක්. කොහොමත් මල් හදන්න මං ගෙදරත් නැහැනෙ...
කෑමත් කන්න දීලා, අඳුරන ත්‍රීවීල් එකක් කතා කරල, ඒකට සල්ලිත් ගෙවල මාව වත්තල හන්දියට ඇරලවන්න මුල් වුණේ නිලන්ති අක්කා... ළක්‍රිවී යෙන් දැන අඳුනාගෙන කූඩු වුණ මං දන්න ලස්සනම ලස්සන පවුලක් ඒ... මනුස්සකම පිරිලා ඉතිරිලා තියෙන..

වෙහෙසකර දවසක අවසානයේ මං ගෙදර එද්දි හතරවටින් කළුවරත් ගාල්වෙලා.. මිදුල පුරාම තණකොල වැවිලා.. ගේ වටින් ළඳු කැලේ හොඳටෝම උස්මහත් වෙලා. හෙට දවස පුරාම කරන්න වැඩ තියෙනවා. මට හිතුණා.

සමන්පිච්ච පඳුරෙ මල් පිපිලා.. කළුවරෙත් සුදු මල් හිනැහෙනවා. සුවඳ පැතිරෙනවා. ඒ පිච්ච වැල එතනම ඉන්දුවෙ හේතුවක් ඇතිව.. පැතුමක් ඇතිව.... ජීවිතය ජීවත් කරවන අහිංසක හීන....

පිච්ච මල් උපද්දපු කවි සිතුවිල්ල පළ කරගන්නවත් සිග්නල් නැහැ... ගෙදර ආවම තියෙන එකම අවුල තමයි ඒ.. පැය එකහමාරක් විතර බලන් උන්නා. ඒත් සිග්නල් උන්දෑ හතරමායිමක නෑ...

පිච්ච වැල 
මල් හිසින් දරාගෙන
සුවඳ පැන් දොවාගෙන
ළදළු අග 
පිනි මොට්ටු තියාගෙන...

නැවුම් කරදහි 
පුස්ඹක දැවටෙමින්...
සුසුම් මුසු සිතුම් පැදි ඇමුණුමක
අතරමං වෙන්න හිත හදාගෙන...

වසා ලු කවුළුපත් අද්දර
පිච්ච වැල.....

මල් හිසින් දරාගෙන
ගිළිහෙනා පැතුම් පෙති
ලිහාගෙන....
ජීවිතේ මේ නම්
ළතැවුල් කුමට,
පවන් රැල්ලක එතෙන
සංසාර සුවඳක
සැනහෙන්න හිතාගෙන...

ඉරිදා උදෙන්ම පූජාවට ගියා.

අම්මයි, චූටි දෝණිත් ආවා. ‘‘අම්ම නිදහසේ ඉන්න ටිකක්.. නිදාගන්න.. කැමති නම් පොතක් බලන්න...” වැඩ කරන්නම ඉපදුණු ගානට ඉන්න අම්මට සැහැල්ලුවක් දෙන්න නිසාමයි එන්න කියල කිව්වෙත්... 

දෝණිට ජානකී සූරියආරච්චිගෙ ටිකිරි ගී දාලා දුන්නම කම්පියුටර් එකේ, මට පාඩුවෙ වැඩක් කර ගන්න පුළුවනි.... ඒත් සැරින් සැරේට එක එක උවමනාවන් හදාගෙන කතා කරනවා. දෝණි කැමතිම නෑ, එයාගෙන් ඈත් වෙලා වැඩවල යෙදෙනවට.. මට තියෙන්නෙ අද දවස විතරයි කියල කොහොම තේරුම් කරන්නද ඒ පුංචි හිතට...

තණකොල කපන මැෂින් එකත් අරන් නිලමෙ මාමා ආවා.. ඒ නිලමෙ මාමා තනියෙන් ඉන්න අපේ ගෙදරට  ගොඩවැදුණාමද කොහෙද?

‘‘ මේ මදෑ... මෙහෙ හරිම නිදහස්නෙ ලොකු දුවේ... පාඩුවෙ ඉන්න පුළුවන්.. කිසි සද්දබද්දයක් නෑ.. වටපිටේ ඉන්නෙත් නිස්සද්ද මිනිස්සුනෙ...”  බාගෙට හැදුණු ගේ දිහා බලමින් මාමා කිව්වෙ හදවතින්මයි.. දන්න කියන කාලෙ ඉඳන් කටපුරා දුවේ කිව්වෙ හිතේ පත්ළෙන්ම ඉපදුණු ආදරෙයන් කියල මං දන්නවා..

ලැවරියා කමින් තේ බොමින් ඉන්න අතරෙ නිලමෙ මාමා අතීත විස්තර දිගහරිනවා... ඒ මගේ ළමාවියත් එක්ක බැඳුණු තමන්ගේ අතීතය ගැන අහිංසක සතුටකින්...

‘‘ලොකුදුවට මතකද? ඉස්ඉස්සිල්ලම මමයි දුවව ඉස්කෝලෙ එක්කරන් ගියෙත්, ආවෙත්...” නිලමෙ මාමා අහනවා. ඇත්තටම මට මතකයි, තව ළමයි දෙන්නෙක් විතර ඒ බයික් එකේ නිත්‍ය සාමාජිකයො වෙලා උන්නා... දෛනික රාජකාරියක් වගේ බොහොම සීරුවට අපිව ඉස්කෝලෙ එක්කරගෙන ආව ගියා මතකයි...

තද අව්ව.. ඒ ගැන වගක් නැතිව තමන්ගේම වැඩක් ගාණට වැඩේ කළේ. වැඩි මුදලක් ගත්තෙත් නෑ. ඒ ගමේ කමට...තමන්ගේ කමට... ගේ වටේ ගාණට තණකොල කැපුවම හරිම සිරියාවයි. වැඩිපුරම තියෙන්නෙ උඳුපියලිය.... දවස පුරාම මහන්සි වෙලා ලස්සන කරල හවස් අතේ ආපහු එන්න ලෑස්ති වෙද්දි නම් හිතට හරි දුකයි...

දොර වහල, යතුර අරන් මං එද්දිත් පිච්ච වැල මල් තියන් බලන් උන්නා... ආයෙ කවදද එන්නෙ අහන්නා වගේ...

Wednesday, September 3, 2014

සීතලම කඳුලක හමුවේ ඔබ...


සනාතන කඳුලක්
තබා ඇහිපිය යට
සමුනොගෙන සමුගත්
සදාතන මිත්‍ර තෙම....

පියවි ලොව කිසිදිනෙක
හමුනොවූ මුත් ඔබ
හමුවේ හැමදිනෙක
මිත්‍ර හද ගැඹුරක
කෙවි කෙවී රිදුම්දෙන
සීතලම කඳුලක..... 

Tuesday, September 2, 2014

අනියත සුසුමක බර



2014.09.01

ගමනාන්තයේ දුම්රිය නැවතුම අසල පළතුරු කඩේ මාමා මාස දෙකකින් විතර පේන්න හිටියෙ නැහැ. මම හිතුවෙ වෙන තැනක රස්සාවට යන්න ඇති කියල.

‘‘කෝ අර අන්කල්... ඇයි පේන්න නැත්තෙ...”  ටික දවසක ඉඳන් හිතේ ගොනු වුණු ප්‍රශ්නයක් මම  කඩේ මුදලාලිගෙන් ඇහුවා.

‘‘ඇයි දන්නෙ නැද්ද?” මුදලාලිගේ මුහුණේ ඇඳුණු අඳුරු විස්මිතය බොහෝ දේ කියාපෑවා.

‘‘ඇයි? මොකද වුණේ... ”

‘‘මනුස්සය නැති වුණානෙ. මෙතනදිම පපුවෙ අමාරුවක් හැදුණා. ඉස්පිරිතාලෙ අරන් යනකොටත් මැරිලා...”

මගතොට හමු වී පිය සෙනෙහසින් හිනැහී කතා කළ තවත් කාරුණික මිනිසෙක් නොකියාම සමුඅරන් තිබුණා.. මෙවැනි සමුගැනීම් බොහොමයකට පහුගිය ටිකේ මුහුණ දෙන්න වුණා.

අස්ථිර ජීවිතය පැහැර ගන්නෙම දයාවන්ත මිනිසුන් ද මන්ද?

...............

ඊයෙ සවස මාරිස්ටෙලා විදුහලේ පැවති සිනමා දැක්මෙදි ඇන්ඩෘ ජයමාන්න ගැන මතකය අවදි කළ ධර්මසිරි බණ්ඩාරනායක ‘‘අපි ජීවත් වෙන්නෙ පිලිකා එක්ක. පිලිකාගත වුණු සමාජයක” කිව්වා. ඔහු මතක් කළා මෑත කාලයේ පිලිකා නිසාම අපට අහිමි වූ වටිනා ජීවිත රැසක් ගැන. ඔහුගේ හංස විලක් චිත්‍රපටයට සම්බන්ධ වූ කිහිපදෙනෙක්ම පිලිකා නිසා අතරමගකදි ජීවිතය අතහැර ගිහින්.

හෘද රෝග සහ පිලිකා........ උණ, හෙම්බිරිස්සාව තරමට සාමාන්‍යකරණය වෙලා.

සොබාදහමට අනුගත වුණු ජීවිතයකට ආපසු හැරී යනු මිස, නිදහස් සැහැල්ලු මනසක් වෙනුවෙන් අධ්‍යාත්මික සංහිඳීමකට යනු මිස මේ ව්‍යසනයට අන් විසඳුමක් නැහැ කියලයි මට හිතෙන්නෙ.

.............

‘‘හොඳින්ද කෙල්ල” ඔබ ඇහුවා.

‘‘මම හොඳින්” මම කිව්වා.

ඒත් ඇත්තටම හොඳින් ද මම මගෙන්ම ඇහුවා.

හදවතේ රිදුණු බිඳුණු, තැලුණු පෙළුණු තැන්වලට සාත්තු සප්පායම් කරගනිමින්, සුවපත් වෙන්න උත්සාහ දරමින් මං උන්නෙ. දවසට සියදහස් වාරයක් ඇස් තෙත් වෙන්න ඇති. ආදරණීයයන්ගෙ නොතේරුම් ගැනීම් තරම් හදවත බිඳ දමන සුළු අන්යමක් නැහැ.

මට දැනෙන්නෙ හදවත වැඩි පරිස්සමට ගිනි උදුනක් උඩ තිබ්බා වගේ හැඟීමක්.

ඒත් මම පරිස්සම් වෙනවා, අල්පෙනෙති තුඩකින් තරමවත් ඔබට නොරිද්දා ඉන්න. මට මාව රිදව ගත්තැකි. ඒත් මට ඔබව රිදවීම කළ නොහැකියි. එයින් රිදෙන්නෙත් මටම යි. මම ඒ බව පැහැදිලිවම වටහාගෙන ඉන්නෙ.