Thursday, November 12, 2015

හෘද සූත්‍රය

by Rauf Janibekov


සිරි සිරි වැස්ස යට  
සීතලෙන් ගුලි වෙන
මන්දාරම් අඳුර
වැව් දිය මත ඇඳුණු
තරු එළි සරැලි මත
ස්නේහයම අතුරන...

ඉද්ද ගහ සරසන
සුදු මල් හිනාවට
උරදෙන ඇත් පවුර 
නිශ්චල ව දැහැනක..

සිලි සිලි නදින
බෝ පත් මුමුණන
ස්නේහයේ මියැසිය
නෑසුන ද සවනට
තුන් සිත ම පෑදෙන...

සුවහස් වදන් ගොනු කොට
නිශ්චලත්වය මත
කවිකම් අමුණන
සුන්දර ම සන්ධ්‍යාව...

දුප්පත්ම හෝඩියකින්
වචන අහුලන හදවතක
හෘද සුත්‍රය 
අදත් පෙර ලෙසම
ගොළුව සැඟවිණ...

Friday, October 30, 2015

පිළිතුරු කවක්...



අහස විමසා සඳට පවසමි 
තරුවකත් හද ගිනි ගැනේ 
බඳුන පතුළත කඳුළු බිඳුවක් 
නැති ද තාමත් හමුවුණේ...

Sunday, January 18, 2015

හදවත සමඟ සටනකින් ඉක්බිති...





ළා රත් නෙළුම් මලක
සිනිඳු පෙති මත වතළ
දිය බිඳක පැහැය විනිවිද
දකිමි ඔබ හදවත...

පිච්ච කැකුලක සුසුදු පෙති මත
වැතිර සැනහෙන
සුමුදු සුවඳක
විඳිමි ඔබ හදේ සෙනෙහස..

හැම තත්පරයකම
එකම යැදුමක්..
එකම පැතුමක්..

මුදන්න මා තෘෂ්ණාවෙන්
බිඳින්න මා මේ බැම්මෙන්
හිඳින්න ළංවී පෙර මෙන්
නිවෙන්න හදවත් ස්නේහෙන්...

නුවර වැව් බැම්ම අස
සිහිල් සුළඟක පා කර හරිමි
හද පිරූ ළතැවුල්...

සඳු දෙසම ඇහැ තියන්
ඇවිද ගිය අතීතයෙ
පය පැකිල ඇද වැටුණු
වාර නම් කොතරම්ද?

මෙන්න සඳ මා ළඟම
වැව් දියෙහි රැළි අතර
ඔච්චමට හිනැහෙමින්
ළඳ බොළඳ හිත ගැනම...

( මධුයි, පුතයි, නංගියි එක්ක දළදා මාළිගාවට ගිහින් හැන්දෑවම වැව රවුමෙ ඇවිදිමින් උන්නා.. හිත නිවුණු සැඳෑවක්....2015 ජනවාරි 17)

Sunday, December 21, 2014

දෙසැම්බර තිමිර මඟහැර එන්න.


‘‘මම එක අවුරුද්දක නත්තල් සීයට අඳින්න එපැයි..”

එක් සිහිනයකින්
තවත් සිහිනයකට
පාර තනන්න ඔබ
ඒ සිහින මත
පා තබා හෙමිහිට
එනතුරු ඔබ ම
දෑස් දල්වා
බලා සිටින්නට මට.......

හා ඉන්නද? එපාද?
පිළිතුර දනිමි
‘‘එපා”

ඒත්...?


2014.12.18

Wednesday, December 3, 2014

සිනා සී ඇවිදින්



මීදුම් කබාය පොරවගෙන
ශිතලෙන් ගැහි ගැහී
මහල්ලෙක් වගේ
වක ගැසී උන්නේ
නොවැම්බරය.....

ඉරු කිරණ ඇඟිලි තුඩගින්
පිරිමදිමින් හිස
සිනා සී ඇවිදින්
අඩි තිය තියා හෙමිහිට
දෙසැම්බර් යෞවනිය.....

කාලෙකට පස්සෙ අද උදේ ඉරු රැස් එක්ක එළියට බැස්සා.......... දීප්තිමත් ආරම්භයක් තිබුණ දවසක්.

සන්ධ්‍යක්කා ගැන ලියැවුණු කවිය බූන්දියේ පිටු අතර හමුවුණා ඊයෙ. ( නොනිම් සන්ධ්‍යාව ) සතුටුයි හිතට. ඒත් ඇත්තටම ඒ කවියක් නෙවි, කඳුලක්. මට දුකයි එයා ගැන. ඒ වගේම පුදුමයි එයාගෙ ධෛර්යය ගැන....


ඊටත් වඩා සතුටු ඒ කවිය එක්ක බැඳුණු ඔබේ ආශිර්වාදය... 

Sunday, November 30, 2014

දවස් දෙකක්... කඳුළක් සහ හසරැල්ලක්...


මාසික සිනමා දැක්මෙ ඊයෙ පෙන්නුව චිත්‍රපටය අපර්ණා සෙන්ගෙ ‘ජපන් බිරිඳ’. ඒ චිත්‍රපටය හරිම ලස්සනයි. සංවේදීයි. මානුෂිකයි. ආදරණීයයි. සුනිල් විජේසිරිවර්ධනගෙ මගපෙන්වීම චිත්‍රපටිය හදවතින්ම විඳින්න ලොකු උදව්වක් වුණා.

චිත්‍රපටිය ආරම්භයේ ඉඳන්ම ඉකිබිඳුමක් හිරවෙලා තිබුණා. ඇස් තෙත් වෙවී තිබුණා. අන්තිමට ස්නෙහෙමෝයි ‘මියාගි‘ කියල සන්ධ්‍යගෙ අත අල්ලල පපුවට තුරුළු කරගනිද්දි මගේ ඇස්වලින් කඳුළු ගලාගෙන ගියා. අවසන් දර්ශනයෙදි සන්ධ්‍යා මියාගිව ආදරයෙන් පිළිගනිද්දි, ගෙට.. කාමරයට කැන්දන් යද්දි ආයෙම ඇස්වල කඳුළු වේලිලා හිත සැනසීමකින් පිරුණා.

ඒ මියාගි මමයි කියල මට හිතුණා. වෙලාවකට මම ස්නේහමෝයි වගේ. වෙලාවකට සන්ධ්‍යා වගේ. මට මාවම පෙනෙන්න දැනෙන්න ගත්තා. වැඩියම දුක ඒ නිසාමද මන්ද?

ඒකපාර්ශවීය ප්‍රේමය කියන්නෙ අත්තටු බිඳුණු කුරුල්ලෙක් වගේ. විසල් අහසක් තිබුණට එයාට පියාඹන්න පුලුවන් කමක් නෑ. හිතේ ධෛර්යය, කැපවීම තියෙන තාක් එයා ඉස්සරහට යාවි. ඒත් ඒක හරිම දුෂ්කර ගමනක්. වේදනාත්මක ගමනක්. ඒ ප්‍රේමයට සියදිවි නසාගන්නත් හිතේවි. නැත්නම් කාට හරි ගොදුරු වේවි. 

ප්‍රේමයට ක්ෂය වෙන්න ඉඩහැරල සහෝදරත්වයේ අත්තටු පළන්ඳගන්න පුළුවන් නම් හොඳයි. ඒත් ඒක ප්‍රේමයට පණ නහගන්න ඉඩඅරිනවටත් වඩා අමාරු වැඩක්....

........

සිලි සිලි පොදවැස්සෙ ඊයෙ මං ගෙදරින් පිටවුණේ. මීදුම් කබාය පොරවගන ශීතලෙන් ගැහි ගැහී ඉන්න මහල්ලෙක් වගේ ඉරට අමතක වුණු උදෑසනක්.

උදේ වරුවෙ ගෙවුණෙ කවි වැඩමුළුවෙ.  ප්‍රධාන දේශනය කළේ ‘පසිපුර නන්ද’ මහත්මයා. කවිය ගැන හොඳ විස්තරාත්මක කතාවක්.  නාමල් අයිය දෙමව්පියන්ට කතා කළා පැයක්. නාමල් අයියව දකින එකත් සතුටක්නෙ. එයාගෙ කතාවක් ඇහුවම හිතට දැනෙන ගැම්ම සෑහෙන දවසකට ඇති.

තෑගි, සහතික දුන්නට පස්සෙ එක දුවක් අම්ම එක්ක ඇවිත් කතා කළා. එයා තමයි 12-13 වයස් ඛාණ්ඩෙ පළමුවෙනියා.

‘‘මිස්ට මතකද මාව?”

‘‘හරියටම මතක නෑ. ඔයා ළක්‍රිවිද?”


‘‘නෑ. මිස් නවගත්තේගම පොත් ප්‍රදර්ශනය දවසෙ මේ කවි තරඟය ගැන විස්තර කොලේ දුන්නෙ අපට. ඒ නිසයි මේ තරඟය ගැන දැනගත්තෙ.”

ඒ දුව පුත්තලම් පැත්තෙ ඉස්කෝලෙක ඉගෙනගන්නෙ. ගම නවගත්තේගම. අම්මත් එක්ක ඇවිත් හිටියෙ. දුප්පත් අම්ම කෙනෙක්. දැණුන සතුට අප්‍රමාණයි. එදා අපි ගොඩක් අයට පත්‍රිකා දුන්නා. එයින් එක්කෙනෙක් හරි ඉදිරියට ඇවිත් තියෙනවනෙ.


අද උඳුවප් මහේ පළමුවැනිදා. උදේ අවදිවුණේම රතිඤ්ඤා හඬින්. වැහිබර අඳුරු අහස තරමක් පැහැදිලි වෙන්න අරගෙන. නත්තල් හීතල දැණුනෙ නැති තරම්. තවමත් මගේ හිත ඊයෙ සිනමා සිත්තමේ කඳුළු අතර හිරවෙලා. ඇත්තටම අද මට සැහැල්ලුවෙන් හිනාවෙන්න හිතක් පහළවුණේම නෑ.

කෝච්චියෙන් ඇවිත්, බස් එකකට මාරුවෙලා ඉන්පස්සෙ පාගමනින් ඇඟිල්ලත් අරගෙන දුවගෙන දුවගෙන එද්දි කැඳ නංගි කතා කළා. කාර්යාලය ඇතුළෙ ආපනශාලාවෙ කැඳ අළෙවිකළ සහෝදරිය අළෙවිය අඩු නිසා දැන් ඇගේ කැඳ කඩේ පාර අද්දරට අරන් ගිහින්. කැඳ වර්ග කිහිපයක් ඇය අලෙවි කරනවා. කොළකැඳ, කුරක්කන්, සව්, රුලං ඒ අතර. හකුරු කෑල්ලක් එක්ක ලැබෙන ඒ කැඳ කෝප්පෙ ගෙවන මිලට වඩා වටිනවා. රසවත්.

ඉස්සර දවසක අපි හිතවත් වුණේ සොඳුරු කතාබහකින්.

‘‘මිස් වගේම කෙනෙක් අපේ ගමේ ඉන්නවා. නිතරම හිනාවෙලා කතාබහ කරනවා හරි කරුණාවන්තයි. ” දවසක් කැඳ කෝප්පයක් මිලදී ගන්න ගිය අතරෙ ඈ කිව්වා. මං වගේම අය ඉන්න බව නම් මං කොතෙකුත් අහල තියෙනවා.

‘‘මං වගේම අය ඉන්න කතාව නම් ගොඩක් අය මට කියල තියෙනවා. මං තිස්සෙම හිනාවෙලා ඉන්නවද? කරුණාවන්තද? ඒ ගැන නම් මට අදහසක් නෑ.” මං කිව්වා.

‘‘ඇත්තමයි. මිස්ගෙ හිනාවයි, කතාවයි දැක්කම හිත පිරෙනවා.”

‘‘එහෙම තමයි හිනාවෙලා කතා කරල ඉන්න ඕන. අඬන්න වුණාම තනියෙන් අඬන්න ඕන.” කැඳ කෝප්පෙත් අරන් එහෙම කියල ආවා මම. මගේම කල්පනාවන් එක්ක තනිවුණාම දුකින් හිටියත් මම අනිත් අය ඉදිරියෙදි සතුටින් හිනාවෙලා ඉන්නවා. ඉතින් කවුරුත් හිතන්නෙ නැහැ මට මගේම දුක් වේදනා තියෙනව කියල තනියෙන් රසවිඳින.

මුලින්ම පාර අද්දරට කැඳ කඩේ ගෙනගිය දවසෙත් මම කඩිමුඩියෙ දුවගෙන එද්දි ඈ කතා කළා. ‘‘මිස් මිස් අද ඉඳන් මම මෙතැන.” එදා තමයි මම මුල්වරට ඇගේ ජීවන තොරතුරු අහල බැලුවෙ. ඉන්පස්සෙ මට ඈ ගැනත් දැණුනෙ මහා කරුණාවක්.

ඉතින් අද,

ඇගේ ඇමතුමට මං නැවතුණා.

‘‘අද නං කැඳ එපා.” මං කිව්වා.

‘‘කැඳ ගත්තෙ නැතිවුණාට කමක් නෑ මිස්. ඔය සිරියාවන්ත මූණ පෙන්නල වචනයක් දෙකක් කතා කරල ගියත් ඇති.” ඈ කිව්වා. මට පුදුමයි. 

ඇත්තටම මට තියෙන්නෙ සිරියාවන්ත මුහුණක්ද? මං තාමත් හිතනවා. 

Friday, November 28, 2014

දිනක් ආයෙද සොඳුරු අරුමැසි



මගේ සෙනෙහස මෙතෙක් වේ යැයි
මනින්නට ඔබ උගෙන නැත තව..........

මා පැවසුයේ ඊයේ නොවේද? නමුත් අද,

ඔබේ සෙනෙහස මෙතෙක් වේ යැයි
මනින්නට මා උගෙන නැත තව.......

අපමණ බැතිබර සෙනෙහසකින් මම සිතමි. අල්ප වූ අහිමිවීම් මැද වධ වෙවී සිටින බොළඳ සිතකට ලැබුණු අගනාම ස්වර්ගීය තිළිණය ඔබද?

...........

අද උදේ එළියට බැස්සෙම මල් වැස්සක... වැහිබර අහස අඳුරක ගිළිල  තිබුණත් ගස්වැල් පිරිමැදගෙන නිස්කලංකෙ ඇද හැළුණු පොද වැස්ස දිහා මං බලන් උන්නෙ හරිම පහන් හැඟීමකින්. ඒ හැඟීම දෑස තෙත් කැවෙන ආනන්දනීය විස්මයක් වුණේ දිලිනිගේ කතාබහත් එක්ක...........

හරිත තුරු ලිය පෙමින් සිඹ සිඹ
විසිරි සිරි සිරි අසිරි මල් වැසි
දිනක් ආයෙද සොඳුරු අරුමැසි
හදක් නහවා ස්නේහ මල් වැසි........

..........

දැන් මං අපේ ගෙදර....... තනියෙන් ඉන්න......ඒත් අද තනිකමක් දැනෙන්නෙ නැහැ හිතට.......

Wednesday, November 26, 2014

Keep Dreaming


ලියන්නට දෑ බොහෝමයි.. අවිවේකය හිතත් අල්ලා සිරකරගෙන.. අකුරුත් හොරකම් කරගෙන...

අවිනිශ්චිතයි කාලය.. හීන දකින්නත් බියයි. බිඳෙන හීනවල කැට කැබිලිති උහුළාගෙන ජීවත් වීම අසීරුයි. ඒත් එහෙමයි කියල හීන පිරෙන හිතට විලංගු දාන්නත් පුළුවන්කමක් නැහැ.

ඊයේ පැවති වීදියේ විරෝධයට හැමදාමත් වීදියේ අරගලයට අප්‍රමාණ හදවතින් දායක වන මිනිසුන්ම සම්බන්ධ වී සිටියා. කිසිදු පෞද්ගලික ලාභ ප්‍රයෝජනයක් නොතකාම.

විවේක ගත යුතු බව වෛද්‍යවරුන් අවධාරණය කර තිබියදීත් ජයේ අයියා ගීත ගැයුවා. උණුසුම් දෑතින් සිරකරගෙන මගේ දෙඅත් ධෛර්යවන්ත සිනාවෙන් ඔහු මා එක්ක කතා කළා.

ඡායාරූපය විකල්ප අඩවියෙනි.

‘‘අපේ හීනවලට පියාපත් ලැබෙන්නෙ කවදද? කවුරුන් බලයට ආවත් මහපාරෙ අරගලය නිමා වෙන එකක් නැහැ. මොකද බලය නැති තාක් සාන්තුවරු වන මිනිසුන් බලය ඇති තැන රාක්ෂයින් වෙන නිසා. බලය නැති තැන ධෛර්ය සම්පන්න මිනිසුන්, බලැත්තන් වට කරගත්තම කේවට්ටයින් වන නිසා. එහෙම නොවී ඉන්න ධෛර්යයක් තියෙන මිනිසුන් ඉන්නෙ අතළොස්සයි.”

සන්ධ්‍යක්කත් හමුවුණා.

කන්තෝරුවලට බත් පැකට් දාලා ඇයත් වීදියේ විරෝධයට ඇවිත් තිබුණා. එයාගෙ කෑමවලට දැන් හොඳ ඉල්ලුමක් තියෙනවලු. වම්බටු මෝජු, සීනි සම්බෝල වගේ ටික දවසක් තියාගන්න පුළුවන් කෑම වෙනම පැකට් හරි බෝතල් හරි විකුණන්නත් අදහසක් තියෙනවලු. දවසක මටත් එයාගෙ කෑම එකක් අරන් එන්නම්ලු. මේ තරම් ධෛර්යවන්ත හදවතක්.

අතුරුදහන් කළ සැමියා වෙනුවෙන් යුක්තිය, සාධාරණය ඉල්ලමින් දුව ඇවිදින අතරම, දරුදෙන්නා වෙනුවෙනුත් පවුලේ අය වෙනුවෙනුත් වෙහෙස වන අතරම ඇය හැමදාමත් මහපාරේ අරගල අතරත් ඉන්නවා. මෙවැනි ආදරණීය ගැහැණුන් කියන්නෙම අප්‍රමාණ ධෛර්යයක් එක්ක ජීවිතේට මුහුණ දෙන ඓශ්චර්යයන් නෙවෙයිද?

ඡායාරූපය JDS

මේ මිනිස්සුන්ගෙ ආදරය, ධෛර්යය ගැන හිතද්දි ඇස්වල කඳුළු.
..........


පින්තූර කිහිපයක් ඇස ගැටුණා. කවියක් ලියවුණා. එකක් නෙවි, දෙකක්.... 

දැල්වෙන
තරු ඇසක
මඟ අවුරා
වැසූ අහසකි..

අනන්තාවකාශයට
වුව
ඉමක්
නොවන්නෙද?

සිසිරයේ
නිසල වූ
හුදකලා පතක
සීතල කඳුළකි,

තරු ඇසින්
ගිළිහුණිද එය...

...............

ගිළිහෙමි
නිසල වෙමි
සැනහෙමි

මිදි විතක
සුවඳ ය
මුදු හදක
සිසිල ය

සදාතන
ස්නේහය
නිවෙන
පුදසුන
මෙතැන ය....

Tuesday, November 11, 2014

ඈ යන්න ගියා මැකිලා


වීනු නික්ම ගිහින් මාස තුනයි. හෙට රාත්‍රියෙ බණ. අනිද්දා දානෙ.

හාමුදුරුවරුන්ට පූජා කරන පිරිකරවල අලවන්න අදහසක් ලියල දෙන්න කියල ලක්ෂ්මි ඉල්ලීමක් කරල දවස් කීපයක්. ඒත් මට හිත හදාගන්න බැරි වුණා. වීනුගෙ පළමුවෙනි උපන්දිනයට ඈ වෙනුවෙන් ලියූ පදපේළි මතක් වෙද්දි හිතට දුකයි.

සුවහසක් සිහින පොදි මැද
සුපිපුණු කිරිකැටි සිහිනය
සිඟිති මල් කැකුලක්ව
මෙලොවට වැඩිය දින
නොකල්හිම ගිළිහී යාද
සන්තානයම ගිනිගත් මොහොතක

අත්තටු බිඳුණු පැතුමට
ජීවන හුස්ම පිඹිමින්
අපමණ සෙනෙහසින්
දිව රෑ නොතකමින්
ඇය මලක් සේ පුබුදු කළ
ද සොයිසා කාන්තා රෝහලේ
නිශානි ලූකස් වෙදැදුරුතුමිය ඇතුළු වෛද්‍යතුමනි,
මෙත් සිතැති හෙදි සොයුරියනි,
කාර්ය මණ්ඩලයේ සියල්ලෙනි,
ඔබේ ළෙංගතුකමට
අපමණ කැපකිරීමට
බැතිමල් පුදන්නට
වදන් සවිමත් වෙද කොයි ලෙස...

වීනු තිලංසා දියණිය සමඟ
ගෙවෙන ජීවිත වන්දනාවේ
සිනාමල් පිපෙන
සැම මොහොතක් පාසාම
පුණ්‍යානුමෝදනා වේවා
ඔබට.. ඔබ සැමට...

එදා අපි කවුරුවත්ම හිතුවෙ නැහැනෙ, දෙවෙනි උපන්දිනය එළඹෙද්දිම ඒ සිනාමල් පරවේවි කියල.  අද ඈ වෙනුවෙන් මම මෙවැනි සටහනක් ලියා යැව්වා.

‘‘සියල්ල අනියත බව, නැසෙන සුළු බව
සිඟිති හසරැල්ලෙන් පහදා දී
ඇය සන්සුන්ව නික්ම ගියාය.
වීනු තිලංසා අප ආදර දියණියට
අමා මහ නිවන් සුව අත්වේවා.”

මේ වචන ටික කියවල අපි ආයෙම කඳුළු අළුත් කරගත්තා. සුසුමක් සමඟ නැවතුණු සංවාදයෙන් පස්සෙ ලක්ෂ්මි කෙටි පණිවිඩයක් එවා තිබුණා. ආයෙම ඇස් තෙත් වුණා.

‘‘මේ වගේ නිසඳැස් දෙකක් ඔයා කාටවත්ම හදල නැතුව ඇති. ස්තුතියි තරූ”

...........

‘‘රීතියක් ලෙස අහේතුකව වේදනා විඳින්නට මම නොකැමැත්තෙමි. වේදනාවක් යනු නිර්මාණාත්මක විය යුත්තකි. එය යහපත් සහ අදරැති යමකට උපත දිය යුතුය.”

ජන පුරිසෙක් -  129 පිටුව

හරි ලස්සන අදහසක්. හිත බැඳුණා. මිහිරි වේදනාවන් කියන්නෙ මෙවැනි නිර්මාණාත්මක දුකකට වෙන්න ඕන. මගේ වේදනාවත් නිර්මාණාත්මකයි, සමහර වෙලාවට ප්‍රඥාවන්ත විදියට.. සමහර වෙලාවට මහ මෝඩ සහ බොළඳ විදියට. ප්‍රඥාවන්තව වේදනා විඳින හැමවිටම එය යහපත් අදරැති දෙයකට උපත දෙනවා. ඒක ඇත්ත. ඒ හැඟීමත් හරිම සුවදායකයි.

ජනපුරිසෙක් Chinua Achebe - The Man of the People කෘතියේ පරිවර්තනය. සමන් නන්දලාල් පරිවර්තනය කරල තියෙන්නෙ. ලාංකීය දේශපාලනයට, සමාජයට කැටපතක් අල්ලනවා වගේ දැනෙනවා.

ජනාධිපතිවරණ උණුහුමත් එක්ක මෙවැනි පොතක් කියවන එකත් වටිනවා. රාජපක්ෂ රෙජීමය පරද්දන එක තමයි මේ මොහොතෙ අත්‍යවශ්‍යම දේ. ඒත් එතනින් පස්සෙ කාටද රට භාර දෙන්නෙ කියන එක ප්‍රශ්නයක්. ඉගුරු දීලා මිරිස් අරන් විඳවන අපි ඊළගට ගන්නෙ කොච්චිද? මේ මොහොතෙ තම තමන්ගෙ බලය රැක ගැනීම ගැන නෙවෙයි පොදු සමාජ යහපත ගැන හිතල සියලුම විපක්ෂ බලවේග එකතු විය යුතුයි කියන එකයි මගේ හැඟීම. ඒත් ලංකාවෙ සිංහලුන්ගෙ ඉතිහාසය කියන්නෙම පාවා දීමේ සහ දැන දැනම කැමැත්තෙන්ම විනාශය වැළඳ ගැනීමේ ඉතිහාසයක්. ආත්මාර්ථයම මිස පරාර්ථය ලාංකීය දේශපාලනයෙ ගෑවිලාවත් නැහැ.

ඒ ඉතිහාසයම නැවත නැවත ක්‍රියාත්මක නොවේවා.